රටක් ලෙස ඉදිරියට යාමට නම් ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුයි - අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න

රටක් ලෙස ඉදිරියට යාමට නම් ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුයි - අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න
  • SocialShare:

රටක් ලෙස ඉදිරියට යාමට නම් ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු බවත් රජය විසින්  පුත්තලම දිස්ත්‍රික්කයේම පානීය ජල ගැටලුව සම්පූර්ණයෙන් විසඳීමට කටයුතු කර ඇති බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි බලපෑමකට ලක්වූ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල ගැටලුවට තිරසාර විසඳුමක් ලබා දෙමින්, රුපියල් මිලියන 11.1 ක වියදමකින් ප්‍රතිසංස්කරණය කරන ලද ජල පිරිපහදු හා බෙදාහැරීමේ පද්ධති 10ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට පසුගියදා (20) එක්වෙමිනි.

"අපි දැනටමත් ලබන වසරේ අයවැය යෝජනාවලට කලා ඔයේ ඉඳලා පානීය ජලය අරගෙන එන්න සැලසුම් සකස් කරලා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරලයි තියෙන්නේ. මේ යටතේ වනාතවිල්ලුව, පුත්තලම, මුන්දලම, කල්පිටිය, කරුවලගස්වැව කොටසක් සහ මහකුඹුක්කඩවල කොටසක් යන ප්‍රදේශවල සමස්ත ජනතාවටම තව වසර 40ක් යනතුරු පිරිසිදු පානීය ජලය හිමිවෙනවා. " යැයි එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා සූදානම්කරණ හවුල්කාරිත්වය විසින් ක්‍රියාත්මක කරන ලද "දිට්වා හදිසි සහන හා ප්රතිචාර (DEAR)" වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘති සාර්ථකව නිම කර ඇත. එය ශ්‍රී ලංකාව පුරා අවදානම් සහිත ප්‍රජාවන්ගේ ආපදා ප්‍රතිරෝධී හැකියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන සුවිශේෂී බහු පාර්ශ්වීය හවුල්කාරිත්වය (SLPP), ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC), ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (CCC) සහ ජනතාක්ෂණ GTE Ltd. යන ආයතන විසින් ඒකාබද්ධව මෙහෙයවනු ලබන්නකි. තායිලන්තයේ ආසියානු ආපදා සූදානම්කරණ මධ්‍යස්ථානයේ (ADPC) තාක්ෂණික මඟපෙන්වීම මත ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වන ලද්දේ ඇමරිකා එක්සත් ජනපදයේ Gates Foundation ආයතනය විසිනි.

දිට්වා සුළි කුණාටුවෙන් පසු අවම මානුෂීය ආධාර ලැබුණු පවුල් ප්‍රමුඛ කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ, ප්‍රජා මූලික ජල සැපයුම් යෝජනා ක්‍රම 07 ක් සහ පාසල් පදනම් කරගත් ජල පද්ධති 03 ක් ඇතුළුව සමස්ත ජල පද්ධති 10ක් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ප්‍රතිසංස්කරණය කර ඇත. මෙමඟින් පාසල් දරුවන් ඇතුළු ප්‍රදේශවාසීහු 10,500කට අධික පිරිසකට පිරිසිදු පානීය ජල ප්‍රවේශය හිමි විය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද අවධාරණය කළේ ය.

"ලෝකයේ අනෙක් රටවල් අභ්‍යවකාශ ගවේෂණය ගැන කතා කරන කොට, අපිට තාම අපේ දරුවන්ට බොන්න වතුර ටිකක් දීගන්න බැරුව බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. පානීය ජලය කියන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක්. මේ වගේ ව්‍යාපෘති වලින් පවුල් කිහිපයකට සහන සැලසුණත්, අනිත් සියලු පවුල්වලට සහන දෙන්න ක්‍රමයක් නැහැ.

ඒ වගේම දිස්ත්‍රික්කයේ අනෙක් පැත්තෙන් මා ඔයෙන් වතුර අරගෙන දංකොටුව, වෙන්නප්පුව, නාත්තන්ඩිය සහ මහවැව වැනි ප්‍රදේශවලට පානීය ජලය ලබාදීමටත් අපි වැඩසටහන් හදලා තියෙනවා. විරුතෝඩේ ජනතාවත් කාලයක් තිස්සේ කීවා බොන්න වතුර නෑ කියලා. වතුර දුන්නත් ඒවා බොන්න බැරි මට්ටමකයි තිබුණේ. ඒ නිසා ජනතාවගේ මූලික අවශ්‍යතාවක් වන මේ පිරිසිදු පානීය ජලය සපයා දීමට රජය සම්පූර්ණයෙන්ම බැඳී සිටිනවා."  

මෙහි ප්‍රධාන උප ව්‍යාපෘතියක් ලෙස මුන්දලම, කොත්තන්තිව්හි ‘මෝයා සිෆා’ ප්‍රජා මූලික සංවිධානය වෙත රුපියල් මිලියන 3.5 ක් වටිනා Reverse Osmosis (RO)/Nano ජල පිරිපහදු පද්ධතියක් සහ පෙරහන් උපකරණ ලබාදීමට කටයුතු කර තිබේ.

මෙම සංවර්ධන කටයුතු කිරීමට රජයට ශක්තිය ලැබුණේ ජනතාව තැබූ විශ්වාසය නිසා බව මෙහිදී සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසී ය.

"පුත්තලම, කල්පිටිය, වනාතවිල්ලුව, මුන්දලම, ආරච්චිකට්ටුව, කරුවලගස්වැව, නවගත්තේගම, ආනමඩුව, පල්ලම, මහකුඹුක්කඩවල සහ හලාවත ඇතුළු සමස්ත පුත්තලම දිස්ත්‍රික්කයමත්, ඒ වගේම උතුර සහ නැගෙනහිර ජනතාවත් සිංහල, දෙමළ, මුස්ලිම් කිසිදු භේදයකින් තොරව රජය කෙරෙහි තැබූ විශ්වාසය නිසයි අපිට මේ වැඩපිළිවෙළ ඉදිරියටම අරන් යන්න පුළුවන් වුණේ.

අපේ දරුවන්ට, අනාගත පරම්පරාවට තවදුරටත් මේ විදිහට දුක් විඳින්න අවශ්‍ය වෙන්නේ නැති යහපත් රටක් නිර්මාණය කරන්න අපි හැමෝම සාමූහිකව දායක වෙන්න ඕනේ. ඒ සඳහා මෙවැනි ප්‍රජා කේන්ද්‍රීය ව්‍යාපෘති අතිශයින්ම වැදගත්. රජයේ සංවර්ධන වැඩපිළිවෙළට අමතරව, ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට දායකත්වය ලබා දුන් 'ගේට්ස් ෆවුන්ඩේෂන්' (Gates Foundation) ආයතනය, 'ජනතාක්ෂණ' ආයතනය ඇතුළු මෙහි ඉදිරිපෙළ සිටි සියලුම පාර්ශ්වයන් අපට දැවැන්ත ශක්තියක් වුණා. ඔවුන් සියලු දෙනාටම රජයේ ස්තුතිය පිරිනමනවා.

අවසාන වශයෙන්, මෙම ආපදාවෙන් අපිට දැවැන්ත හානියක් වුණා. ජීවිත වගේම දේපල විශාල ප්‍රමාණයක් නැති වුණා. හැබැයි ඒ නැති වුණු සියල්ලෙන් ජීවිත හැර අන් සියලු දේපළ හා ජීවනෝපායන්, තිබුණාට වඩා හොඳ තත්ත්වයෙන් නැවත ගොඩනැඟීම සඳහා අපි හැමෝම සහෝදරත්වයෙන් අත්වැල් බැඳගනිමු කියා මම ආරාධනා කරනවා."