සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ දැනුම, කුසලතා සහ වෘත්තීය නිපුනතා වර්ධනය කිරීමේ අරමුණින් කොළඹ විශ්ව විද්‍යාලය මගින් නිර්මාණය කරන ලද පරිපූරක වෛද්ය විද්යාව පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Paramedical Sciences for Emergency Medical Technicians) අද (22) පෙරවරුවේ කොළඹ වෛද්‍ය පීඨ නව ගොඩනැගිල්ලේ (UCFM Tower) ශ්‍රවණාගාරයේ දි ආරම්භ කෙරිණි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වුණු අතර සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන් තිස්දෙනෙක් මෙහි පළමු කණ්ඩායම ලෙස ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට නියමිතය. ඩිප්ලෝමා පාඨමාලාවේ කාලය මාස හයකි.
මෙම ඩිප්ලෝමා පාඨමාලාවට සමගාමීව හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ ඉංග්‍රීසි දැනුම ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙහි දී අදහස් දක්වමින්, 1990 ඇමතුම් අංකය ඔස්සේ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සපයමින් මෙරට සියලුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක “සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට එහි සේවයේ නියුතු හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ දැනුම, කුසලතා සහ වෘත්තීය නිපුනතා වර්ධනය කිරීමට කොළඹ විශ්ව විද්‍යාලය මගින් නිර්මාණය කරන ලද මෙම පරිපූරක වෛද්ය විද්යාව පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව බෙහෙවින් ඉවහල්වනු ඇති බව පැවසීය.
1990 “සුවසැරිය” ගිලන් රථ සේවාව පිළිබදව නව ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමේ අවශ්‍යතාවය ද මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා සුවසැරිය කාර්ය මණ්ඩලයට තවදුරටත් පුහුණු අවස්ථාවන් ලබාදීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු කරන බව ද සඳහන් කළේ ය. එමෙන් ම ඒ වෙනුවෙන් අවශ්‍යවන සහයෝගය ලබාදෙන සෞඛ්‍ය වෘත්තිකයන්ට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්ට ද සිය කෘතඥතාවයද මෙහි දී පළ කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
“ජීවිතයක් සුරැකීම” යන්න ප්‍රමුඛ අභිමතාර්ථය කරගනිමින් 1990 සුවසැරිය පදනම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පනතකින් බලාත්මක කර ඇත. ආරම්භයේ දී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ “සුවසැරිය” ජාතික හදිසි ගිලන්රථ සේවාව මේ වනවිට ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබයි.
මෙම අවස්ථාවට කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ, මහාචාර්ය වජිර දිසානායක, සුවසැරිය පදනමේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශ්‍රීලාල් ද සිල්වා, වෛද්‍ය අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය ගෝමින්ද පොන්නම්පෙරුම යන මහත්වරුන් ඇතුළුව කොළඹ විශ්ව විද්‍යාලය සහ සුවසැරිය පදනම නියෝජනය කරිමින් පිරිසක්ද එක්ව සිටියහ.


