සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්වන මගී ජනතාව වෙනුවෙන් අප්‍රේල් මස 09වැනි දින සිට 21 වැනි දින දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව මහනුවර ,පුත්තලම, හයිලෙවල් / ලෝලෙවල් , දඹූල්ල හා ගාල්ල යන ප්‍රධාන කොරිඩෝ 5ක් කේන්ද්‍ර කර ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් දුර ගමන් බස්රථ සේවා ක්‍රියාත්මක කරනු ලබන අතර ස්ථිර කාලසටහන්වල ධාවනය වන බස්රථවලට අමතරව අතිරේක ගමන්වාර 500ක් ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇත.
මීට අමතරව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ,කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල , මහනුවර හා ගාල්ල යන ගමනාන්තවල සාමාන්‍ය ගමන්වාරවලට අතිරේකව විශේෂ දුම්රිය සේවා යොදවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එමෙන්ම මාකුඹුර , කඩවත , කඩුවෙල හා කොළඹ බැස්ටියන් මාවත කේන්දු කර ගනිමින් අධිවේගී මාර්ගය හරහා ගාල්ල , මාතර , බදුල්ල , තංගල්ල , කතරගම වැනි ගමනාන්ත සඳහා අතිරේක බස්රථ ගමන්වාර 350ක් යෙදවීමටද කටයුතු යොදා තිබේ.
එසේම මෙම කාලසීමාව තුළ ගම්බිම් බලා ගමන් ගැනීමට කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත බස්නැවතුම්පළවලට ලක්ෂ 8කට ආසන්න මගී ජනතාවක් පැමිණෙනු ඇති බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අපේක්ෂා කෙරේ.මෙම මගීන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් , ආරක්ෂාව සහ ප්‍රථමාධාර අදාල බස් පර්යන්තවලට සපයා ඇති අතර විශේෂ රාජකාරි සඳහා නිලධාරීන් ද යොදවා ඇත.
ඉහත කාල සීමාව තුළ දවසේ පැය 24ම ආවරණය වන පරිදි මෙහෙයුම් මැදිරියක් සහ පාරිභෝගික සත්කාරක ඒකකයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ස්ථාපිත කර ඇති අතර 1955 ක්ෂණීක දුරකතන අංකය සහ 0712595555 වට්ස්ඇප් අංකය මගින් මගී ජනතාවට සම්බන්ධ විය හැකි බවද එම කොමිෂන් සභාව දැනුම් දේ.
එසේම ජාතික ගමනාගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් විස්තර 1958 සහ දුම්රිය විමසීම් සඳහා 1971 කෙටි දුරකතන අංකවලට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.
මෙම කාලසීමාව තුළ මගී ජනතාවගෙන් වැඩිපුර ගාස්තු අයකිරීම සිදුවන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා ප්‍රධාන කොරිඩෝ ආවරණය වන පරිදි දවසේ පැය 24 පුරා ජංගම පරීක්ෂක නිලධාරීන් සේවයේ යොදවා තිබේ.