මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වැඩසටහනක් යටතේ හෙද අනුස්ථාපන හා සමායෝජන පුහුණුව (Nursing Orientation and Coordination Training) සාර්ථකව නිම කළ විද්‍යාවේදී හෙද (B.Sc. Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු සක්‍රීය සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
ඒ අනුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරු 10.00ට කොළඹ 07 පිහිටි පදනම් ආයතන පරිශ්‍රයේදී පැවැත්වෙන නිල උත්සවයකදී පත්වීම්ලාභීන් වෙත III ශ්‍රේණියේ හෙද නිලධාරී පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතය.
මෙම පත්වීම්ලාභීන් මධ්‍යම රජය යටතේ පාලනය වන ප්‍රධාන රෝහල් සහ ශික්ෂණ රෝහල් වෙත අනුයුක්ත කිරීමටද අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
විද්‍යාවේදී හෙද උපාධිධාරීන් III ශ්‍රේණියේ තනතුරු සඳහා අවසන් වරට බඳවා ගැනීම් සිදුකර ඇත්තේ 2021 වර්ෂයේදී වන අතර, වසර පහකට පසු නැවත මෙම බඳවා ගැනීම් සිදුකිරීම විශේෂත්වයක් ලෙස සැලකේ.
වත්මන් දත්ත අනුව මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ හෙද නිලධාරීන් 43,553 දෙනෙකු සක්‍රීය සේවයේ නිරතව සිටින අතර, ක්ෂේත්‍රයේ පවතින මානව සම්පත් හිඟය අවම කිරීම සඳහා පසුගිය වසර දෙක තුළ පමණක් III ශ්‍රේණියේ හෙද කාර්ය මණ්ඩල 3,441 දෙනෙකු බඳවාගෙන ඇත.
එමෙන්ම, ඉදිරියේදී සෞඛ්‍ය සේවාවට එක්වීමේ අරමුණින් දිවයින පුරා පිහිටි හෙද විදුහල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7,800කට ආසන්න පිරිසක් මේ වනවිට වෘත්තීය පුහුණුව ලබමින් සිටී.
ඉදිරි සායනික සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ජාතික හෙද අභ්‍යාස විද්‍යාල පද්ධතිය සඳහා තවත් නවක සිසුන් 3,000 දෙනෙකු බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතියද මේ වනවිට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලබාගෙන ඇත.


