ලොවට සාමය පතා වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා 13 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන “ඒහිපස්සිකෝ” සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද තෝලංගමුව ජාතික පාසලෙන් ආරම්භ විය.
පා ගමන තෝලංගමුව ජාතික පාසලෙන් ආරම්භ වී කජුගම, නිට්ටඹුව හරහා යක්කල අබේසේකරාරාමය දක්වා වැඩම කිරීමට නියමිතය.
ඊයේ සිවුවන දිනයේදී මාවනැල්ල, බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් ආරම්භ කළ සාම පාගමන තෝලංගමුව ජාතික පාසල වෙත වැඩම කළහ.
හෙට(27) දිනයේදී පා ගමන කැලණිය රාජමහා විහාරය දක්වා වැඩම කිරීමට නියමිත අතර, එහිදී විශ්ව විද්‍යාල සිසුන් සහ දහම්පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමටද සැලසුම් කර ඇත.
අනතුරුව පාද යාත්‍රාව කැලණිය විහාරයේ සිට නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.
සාම පා ගමනේ රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිතය
දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම පාගමන පසුගිය 21 වන දින දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කරනු ලැබීය.
මෙම සාම පා ගමන ලෝක සාමය සහ අභ්‍යන්තර සාමය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගෙන සිදු කෙරේ.


