"මලෛයග මහිල්චිචි" වැඩසටහන යටතේ බදුල්ලේ නව නිවාස 34කට මුල්ගල් තැබේ

"මලෛයග මහිල්චිචි" වැඩසටහන යටතේ  බදුල්ලේ නව නිවාස 34කට මුල්ගල් තැබේ
  • SocialShare:

"මලෛයග මහිල්චිචි" වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ නව නිවාස ව්‍යාපෘති දෙකක් සඳහා මුල්ගල් තැබීම ඊයේ (26) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නායබැද්ද වත්තේදි සහ හල්දුමුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මල්වන් කොටසේදි සිදු කරන ලදි.

නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වන වතු ප්‍රජාව සුරක්ෂිත කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නායබැද්ද වත්තේ නාය යෑමේ අවදානමට ලක්ව සිටින් පවුල් 11ක් සහ හල්දුමුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මල්වන් කොටසේ අවදානමට ලක්ව සිටින පවුල් 23 ක් වෙනුවෙන් මෙම නව නිවාස ඉදි කෙරේ.

මෙම නිවාස ඒකක 34 ඉදි කිරීමට රජය විසින් රුපියල් මිලියන 108 කට අධික මුදලක් වැය කිරීමට නියමිතයි.

එක් නිවාස ඒකකයක් ඉදි කිරීමට රජය රුපියල් ලක්ෂ 28 ක් සහ යටිතල පහසුකම් වෙනුවෙන් ලක්ෂ 04 මුදලක් වැය කෙරෙන අතර පර්චස් 10 ක ඉඩමක් ද මෙම ප්‍රතිලාභින්ට හිමිවේ.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රවින්ද්‍ර බණ්ඩාර මහතා සහ අම්භිකා සාමිවේල් මහත්මිය ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුලු අමාත්‍යාංශ නිළධාරින්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුලු නිළධාරින් පිරිසක් සහ ප්‍රතිලාභි පවුල් හා සාමාජිකයන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.