ඩිජිටල් ආර්ථිකය නැංවීමට මෙවර අයවැයෙන් විශේෂ අවධානය යොමුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 2025 වසර සඳහා අයවැය ලේඛනය අද(17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනපතිවරයා මේ බව පැවසිය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා පැවසුවේ
ඩිජිටල් සේවා සහ පද්ධතිවල ආරක්ෂාව සහ අඛණ්ඩතාව පිළිබඳ මහජන සහ ආයතනික විශ්වාසය ඩිජිටල් පරිවර්තනයේ සාර්ථකත්වය සහ තිරසාරභාවය සඳහා ඉතා වැදගත්. නව නීති සම්පාදනය කිරීම සහ පවතින නීති ශක්තිමත් කිරීම හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පාලනය කර ආරක්ෂා කරනු ලබනවා. අදාළ ආයතනික රාමුව ශක්තිමත් කිරීම කෙරෙහි ද අපි අවධානය යොමු කරනවා. ඩිජිටල් ආර්ථිකය තවදුරටත් වේගවත් කිරීම සහ ඩිජිටල් පද්ධතියේ අනෙකුත් විෂය අනුබද්ධ ආයතන මෙන්ම ඉහළ මට්ටමේ ඩිජිටල් ආර්ථික අධිකාරියක් බලගැන්වීම සඳහා අපි නව නීති සම්පාදනය කරනවා. සයිබර් ආරක්ෂාව, දත්ත රහස්‍යතාව සහ දත්ත ආරක්ෂණයට අදාළ නීති සහ ආයතන ද අප ශක්තිමත් කරනවා.
ඩිජිටල් ගෙවීම් යටිතල පහසුකම් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික රාමුවේ තවත් මූලික අංගයක්. රජය, ව්‍යාපාර සහ පුරවැසියන් අතර ගලා යන ඩිජිටල් ගෙවීම් වේගවත් කිරීමට අපි කටයුතු කරනවා. මෑතකදී දියත් කරන ලද GovPay පද්ධතිය මීට උදාහරණයක්. මුදල් නෝට්ටු පදනම් කරගත් ආර්ථිකයෙන් ක්‍රමයෙන් ඉවත් වීම අවශ්‍ය වෙනවා. එය පැහැදිලි සන්නිවේදනයක් සහිතව, ප්‍රවේශමෙන් අදියර කිහිපයකින් යුක්තව ක්‍රියාත්මක වනු ඇත.
ඩ්ජිටල් ආර්ථිකය සංවර්ධනය වේගවත් කිරීම සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා. ඩිජිටල් ආර්ථිකය ජාතික ආර්ථිකයෙන් 12% මට්ටමකට ළඟාවීම අරමුණයි වාර්ෂිත තොරතුරු තාක්ෂණ ආදායම ඩොලර් බිලියන පහ දක්වා වැඩි කිරමට කටයුතු කරනවා.