පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ 275 කට සහතිකපත් ප්‍රදානය කෙරේ

පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ 275 කට සහතිකපත් ප්‍රදානය කෙරේ
  • SocialShare:

වර්තමානය වන විට රටක් ලෙස ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, එය සරල හා පහසු ගමන්මඟක් නොවන බවත්, පවතින ගෝලීය යුධමය හා ආර්ථික අභියෝග හමුවේ වුවද සියලු බර ජනතාව මත පමණක් පැටවීමකින් තොරව රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිනියන් 275 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට අද (26) පෙරවරුවේ එක්වෙමිනි. එම උත්සවය ශ්‍රී ලංකා ජාතික රෝහල හි නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය විසින් ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය සමඟ සම්බන්ධීකරණයෙන් දිවයින පුරා පිහිටුවා ඇති පුහුණු මධ්‍යස්ථාන 11කදී ක්‍රියාත්මක කර තිබිණි.

ජ්‍යෙෂ්ඨතා පදනම මත මධ්‍යම රජයේ සේවයේ නියුතු අයදුම්කරුවන් 10 දෙනෙකු සහ පළාත් සභා මට්ටමින් සම්මුඛ පරීක්ෂණ මඟින් තෝරාගත් අයදුම්කරුවන් 265 දෙනෙකු ඇතුළුව නිලධාරිනියන් 275 දෙනෙකු මෙම පුහුණුව සඳහා යොමු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබුණි.

මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය මූලික කරගනිමින් සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ රාජකාරී අධීක්ෂණය සහ ක්ෂේත්‍ර පුහුණුවේදී සිසු පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට මාර්ගෝපදේශ ලබාදීම ඇතුළු වගකීම් මෙම තනතුරට අයත් වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙවර පැවැත්වූ ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව විශේෂ ඇගයීමකට ලක්වූ බවයි. එහි ගෞරවයේ විශාල කොටසක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඉටුකරන සේවාව වෙනුවෙන් හිමි වූ බවද ඔහු පැවසීය.

තරුණ කාන්තාවන් සහ මව්වරුන් වෙත ගෙයින් ගෙට ගොස් සේවය සපයන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අවස්ථානුකූලව මවක්, මිතුරියක් සහ සොයුරියක් ලෙස සමීපව කටයුතු කරන බවත්, ඔවුන් ඉටුකරන සේවාව ඉතා ඉහළින් අගය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වර්තමානයේ බෝ නොවන රෝග පිළිබඳ ඇතිව තිබෙන අභියෝග හමුවේ, එම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා මෙරට පවුල් සෞඛ්‍ය සේවාව විශාල ආදර්ශයක් සපයන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අලුතින් ස්ථාපිත කෙරෙන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානවලදී ද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට සැලකිය යුතු කාර්යභාරයක් පැවරෙන බව ඔහු කියා සිටියේය.

එමෙන්ම, ඉදිරියේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සේවා කටයුතු සඳහා යතුරුපැදි ලබාදීමට සහ ලබන ජනවාරි මාසයේ සිට නියමිත වැටුප් වැඩිවීම් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පවුල් සෞඛ්‍ය සේවිකාවන් පූර්ව ප්‍රසව, අන්තර් ප්‍රසව සහ පසු ප්‍රසව සංරක්ෂණය යන ක්ෂේත්‍ර තුළ ගුණාත්මක හා සානුකම්පිත සේවාවක් සපයමින් මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදෙමින් සිටිති.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන් සහ ආරාධිත පිරිසක් එක්ව සිටියහ.