සුනාමි ව්‍යසනය සිදුව අදට (26) වසර 21ක් සපිරෙන අතර, ජාතික සුරක්ෂිත දින අනුස්මරණ ප්‍රධාන උත්සවය අද ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.00 දක්වා පැවැත්වීමට නියමිතය.
එමෙන්ම, සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදාවලින් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා දිවයින පුරා පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකීම ද මෙවර ජාතික සුරක්ෂිත දින වැඩසටහනේ අංගයක් ලෙස පැවැත්වේ.
2004 වර්ෂයේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 35,000කට අධික පිරිසක් මියගිය අතර, 5,000කට වැඩි පිරිසක් අතුරුදහන් වූහ. එමෙන්ම බිලියන ගණනක් වටිනා දේපල විනාශ විය. එම විපත සිහිපත් කරමින් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එදින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදාවලින් ජීවිතක්ෂයට පත් සියලු දෙනා සිහිපත් කිරීමේ වැඩසටහන් රට පුරා පැවැත්වේ.
මෙවර ජාතික සුරක්ෂිත දින වැඩසටහන, දිත්වා සුළි කුණාටුව හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් ලෙස සංවිධානය කර ඇත.


