2026 ජාත්‍යන්තර තේ දින සමුළුව චීනයේදී

2026 ජාත්‍යන්තර තේ දින සමුළුව චීනයේදී
  • SocialShare:

2026 ජාත්‍යන්තර තේ දිනයට සමගාමීව සංවිධානය කළ ප්‍රධාන තේ දින සමුළුව අද (21) චීනයේ ග්වංසි (Guangxi) ප්‍රදේශයේ නැන්නින් නගරයේදී පැවැත්විණි.

මෙම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහභාගී වු අතර දේශනයක්ද සිදු කරන ලදි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වසර 150කට වැඩි ඉතිහාසයක් සහිත “සිලෝන් ටී” ශ්‍රී ලංකාවේ නාමය ලොව පුරා ගෙන යමින් ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ විශ්වාසය නිරූපණය කර ඇති බව සඳහන් කළේය.

ගෝලීය ආර්ථික හා පාරිසරික අභියෝග රැසක් හමුවේ වුවද, තේ වගා කරන ප්‍රජාවන්ගේ යහපැවැත්ම, සදාචාරාත්මක නිෂ්පාදනය සහ තිරසාරභාවය ආරක්ෂා කරමින් උසස් තත්ත්වයේ තේ නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

සමුළුවට සමගාමීව චීනයේ ග්වංසි (Guangxi) හි නැන්නින් නගරයේ පැවති තේ නිෂ්පාදන රටවල්ගේ තේ වෙළඳ ප්‍රදර්ශනයට ද අමාත්‍යවරයා එක් විය.

මෙම අවස්ථාවට ජාත්‍යාන්තර තේ කර්මාන්තයේ නියැලි සිටින කාම්බෝජියා, කෙන්නියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් වල තේ කර්මාන්තය නියෝජනය කරමින් තේ කර්මාන්තයට සම්බන්ධ විවිධ පාර්ශවකරුවන් ද, එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ නියෝජිතයන් සහ චීනයේ ග්වංසි ජුවන්ග් ස්වයංපාලන පළාත් උප ආණ්ඩුකාරතුමා, ග්වංසි ජුවන්ග් ස්වයංපාලන පළාත් ජනතා රජයේ නියෝජ්‍ය මහ ලේකම්තුමා,ස්වයංපාලන පළාත් කෘෂිකර්ම සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවේ පක්ෂ නායකත්ව කණ්ඩායමේ ලේකම්තුමා ඇතුලු තේ පාර්ශව කරුවන් රැසක් සම්බන්ධ විය.