2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව අද (07) ප.ව 1.30 ට මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත.
අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ සම්පූර්ණ විවාදය (අයවැය විවාදය) හෙට(08) ආරම්භ වන අතර එම විවාදය දෙසැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
2026 වසර සඳහා වන අයවැය පළමුවර කියවීම සඳහා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පසුගිය සැප්තැම්බර් 26 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 දක්වා දක්වා දින 6 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 14 වැනිදා ප.ව 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා සෙනසුරාදා දින 3ක්ද ඇතුළුව දින 17ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා ප.ව 6.00ට පැවැත්වේ.
අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ. එසේම කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සදුදා දිනවල පෙ.ව 9.30 ටත්, අන් සෑම දිනකම පෙ.ව 9.00 ට රැස්වීමටත් නියමිත වී තිබේ.


