එක්සත් ජනපද–ශ්‍රී ලංකා වාණිජ හා සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට අවධානය

එක්සත් ජනපද–ශ්‍රී ලංකා වාණිජ හා සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට අවධානය
  • SocialShare:

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වාණිජ සබඳතා මෙන්ම සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙරටේ අවධානය යොමුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ඇලිසන් එම්. හූකර් (Allison M. Hooker) මහත්මිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා අතර පසුගියදා පැවැත්විණි.

මෙම හමුව පැවැත්වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ වසර 250ක ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල සුවිශේෂී අවස්ථා ඇතුළත් "Enduring Friendship" ග්‍රන්ථය ඇමරිකානු රජයට පිළිගැන්වීමේ අවස්ථාවට සමගාමීවය.

එහිදී ලේකම් ඇලිසන් හූකර් මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර වාණිජ සබඳතා සහ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

එමෙන්ම, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල තීරණාත්මක කාලසීමාවක් තුළ මහින්ද සමරසිංහ මහතා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ලබාදුන් නායකත්වය ඇගයීමට ලක් කළ ඇලිසන් හූකර් මහත්මිය ඒ වෙනුවෙන් සිය කෘතඥතාව ද පළ කළාය.

"Enduring Friendship" ග්‍රන්ථය පිළිගැන්වීමේ අවස්ථාවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් පෝල් කපූර්, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් නිකොල් චුලික් සහ නියෝජ්‍ය සහකාර ලේකම් බෙතානි මොරිසන් ඇතුළු නිලධාරීහු ද සහභාගි වූහ.