වෙරළබඩ ප්‍රජාවන්ගේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි

වෙරළබඩ ප්‍රජාවන්ගේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි
  • SocialShare:

වෙරළබඩ ප්‍රජාවන්ගේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා පර්යේෂණ ප්‍රතිඵල ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමේ ජාතික වැඩසටහන අද (01) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාප දේශගුණික විපර්යාසවලින් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති බැවින්, ඒ හේතුවෙන් සිදුවන අලාභ හා හානි විද්‍යාත්මකව ඇගයීම සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව සංවිධායකයෝ සඳහන් කළහ.

මෙම ව්‍යාපෘතිය යටතේ මඩකලපුව වෙරළබඩ ප්‍රජාව ආදර්ශයක් ලෙස යොදා ගනිමින් Comprehensive Climate Impact Quantification (CCIQ) රාමුව සහ Climate Loss Index (CLIX) ක්‍රමවේදය හඳුන්වා දී ඇති අතර, දේශගුණික බලපෑම් ඇගයීම, අවදානම් කළමනාකරණය සහ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ඒවා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම ජාතික වැඩමුළුව තිරසාර නවෝත්පාදන සඳහා වූ ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ජපානයේ සසකාවා සාම පදනමේ සාගර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය (OPRI) ඇතුළු ආයතන කිහිපයක ඒකාබද්ධ දායකත්වයෙන් සංවිධානය කර තිබේ.

රාජ්‍ය ආයතන, පර්යේෂකයන්, ප්‍රජා නියෝජිතයන් සහ ජාත්‍යන්තර සංවිධාන රැසක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපවල දේශගුණික අලාභ හා හානි පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම, පර්යේෂණ හා ප්‍රතිපත්ති අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ අනාගත ජාතික දේශගුණික සැලසුම් සඳහා ප්‍රායෝගික නිර්දේශ සකස් කිරීම අපේක්ෂා කෙරේ.