ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට තිරසාර රැකියා අවස්ථා උදා කරදීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකය සහ බැරිස්ටා ලංකා ආයතනය එක්ව ක්‍රියාත්මක කරන බැරිස්ටා (Barista) වෘත්තීය පුහුණු පාඨමාලාවේ දෙවන කණ්ඩායම සඳහා වූ මාස හයක පූර්ණකාලීන පුහුණු වැඩසටහන පසුගියදා ආරම්භ කෙරිණි.
තරුණ පරපුර නිවැරදි මාවතකට යොමු කරමින් ඔවුන්ට තිරසාර රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව කොළඹ නවම් මාවතේ පිහිටි බැරිස්ටා ලංකා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මීට පෙර පුහුණුලාභීන් සඳහා ජාතික යොවුන් සේනාංකය හි කටුනායක පුහුණු මධ්‍යස්ථානයේදී දින 14ක ජීවන කුසලතා (Life Skills) පුහුණුවක් ද ලබාදී තිබේ.
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය සහිත ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටම 03 යටතේ ක්‍රියාත්මක වන මෙම පාඨමාලාව තුළ පැය 80ක න්‍යායික පුහුණුවක් සහ පැය 900ක පූර්ණ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට නියමිතය.
පුහුණු කාලය තුළදී පුහුණුලාභීන්ට රුපියල් 10,000ක මාසික දීමනාවක්, දෛනික ආහාර, නිල ඇඳුම් සහ ප්‍රවාහන පහසුකම් ද හිමි වන අතර, පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලුම තරුණ තරුණියන් සඳහා බැරිස්ටා ආයතනය තුළ පූර්ණකාලීන ස්ථිර රැකියා අවස්ථා ලබාදීම මෙම වැඩසටහනේ සුවිශේෂීත්වයයි.
මෙම අවස්ථාවට දිලුප පතිරණ, හර්ෂ චානක ඇතුළු බැරිස්ටා ආයතනයේ නිලධාරීන් සහ සමන් කුලසූරිය, ඉනෝකා ගුණවර්ධන, චාන්දනී මැණිකේ ඇතුළු ජාතික යොවුන් සේනාංකයේ නිලධාරීන් සහ පුහුණුලාභීන් එක්ව සිටියහ.


