ගාල්ල දඩල්ල අල්-මුබාරක් විද්‍යාලයට ගම්වැසියන්ගේ මූල්‍ය දායකත්වයෙන් නව තෙමහල් ගොඩනැගිල්ලක්

ගාල්ල දඩල්ල අල්-මුබාරක් විද්‍යාලයට ගම්වැසියන්ගේ මූල්‍ය දායකත්වයෙන් නව තෙමහල් ගොඩනැගිල්ලක්
  • SocialShare:

ගාල්ල, දඩල්ල අල්-මුබාරක් විද්‍යාලයේ කාලයක් තිස්සේ පැවති ගොඩනැගිලි හිඟයට පිළියමක් ලෙස, දඩල්ල සහ පියදිගම ගම්වැසියන්ගේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල ඊයේ (13) දින ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරිණි.

රජයේ ප්‍රතිපාදන ලැබෙන තෙක් බලා නොසිට, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගම්වැසියන් එකමුතුව රුපියල් ලක්ෂ අටසීයකට (මිලියන 80කට) අධික මුදලක් ස්වේච්ඡාවෙන් එකතු කරමින් මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබීම විශේෂත්වයකි.

නවීන පන්ති කාමර මෙන්ම නවීන පහසුකම් සහිත ශ්‍රවණාගාරයකින්ද යුක්ත මෙම ගොඩනැගිල්ල ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් ලැබුණු මහඟු දායාදයක් වන අතර, පොදු අරමුණක් වෙනුවෙන් ගම්වැසියන් පෙන්වූ මෙම සාමූහික කැපවීම මුළු මහත් රටටම ආදර්ශයක් සපයයි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යතුමිය ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයින්, විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.