ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය එළිදැක්වේ

 ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු  පද්ධතිය  එළිදැක්වේ
  • SocialShare:

දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සෑම දරුවෙකුටම සමාන ගුණාත්මක අධ්‍යාපනයක් හිමිවන පද්ධතියක් ගොඩනැගීම සඳහා නිවැරදි දත්ත, ප්‍රතිපත්ති සහ තාක්ෂණික සාධක මත පදනම් වූ තීරණ ගැනීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන්කළේ අද(07) අරලියගහ මන්දිරයේදී පැවති ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) හි මානව සම්පත් මොඩියුලයේ පළමු අදියර සහ “ඊ-තක්සලාව” ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ (LMS) නියමු ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම නව පද්ධතිය මගින් මෙතෙක් පළාත් මට්ටමින් වෙන් වෙන්ව පවත්වාගෙන ගිය අධ්‍යාපන තොරතුරු පද්ධති එකම ජාතික වේදිකාවක් යටතට ගෙන ඒමට අපේක්ෂා කරන අතර, ජාතික හා පළාත් පාසල්වල තොරතුරු ඒකාබද්ධව කළමනාකරණය කිරීමට හැකි වනු ඇත. පද්ධතියේ පළමු අදියර යටතේ සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල ගුරු ස්ථාන මාරු කටයුතු ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ සිදු කෙරෙන අතර, එය ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන කුලුනු අතර මානව සම්පත් කළමනාකරණය සහ පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ප්‍රමුඛ අරමුණක් වන අතර, ගුරු බඳවාගැනීම්, මාරු කිරීම් සහ උසස් කිරීම් වැනි ක්‍රියාවලි වඩාත් විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා මෙම පද්ධතිය උපකාරී වනු ඇතැයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

එමෙන්ම “ඊ-තක්සලාව” LMS නියමු ව්‍යාපෘතිය ද මෙහිදී දියත් කෙරුණු අතර, එමගින් සිසුන් සඳහා ඩිජිටල් ඉගෙනුම් අවස්ථා පුළුල් කරමින් ඉගෙනුම්, ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය නවීකරණය කිරීමට අපේක්ෂා කෙරේ.

ඩිජිටල්කරණය ගුරුවරුන් වෙනුවට ආදේශකයක් නොව ගුරුවරුන්ගේ කාර්යභාරය ශක්තිමත් කරන මෙවලමක් බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, තාක්ෂණය භාවිතයෙන් පහසුකම් අඩු පාසල්වල දරුවන්ට ද උසස් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම රජයේ අරමුණ බව පැවසුවාය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කොටසක් ලෙස මෙම ඩිජිටල් පියවර ක්‍රියාත්මක වන අතර, සමාන අධ්‍යාපන අවස්ථා සහ දත්ත මත පදනම් වූ අධ්‍යාපන පාලනයක් ස්ථාපිත කිරීම එහි ප්‍රධාන ඉලක්කය බව රජය අවධාරණය කරයි.