ලෝක වෙළඳපොළේ පවතින මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිල ගැලපීම සිදු කරනවා - කැබිනට් ප්‍රකාශක

ලෝක වෙළඳපොළේ පවතින මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිල ගැලපීම සිදු කරනවා - කැබිනට් ප්‍රකාශක
  • SocialShare:

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලෙහි සිදුවන අඩු වැඩි වීම අනුව මෙරට ඉන්ධන මිල ගැලපීම සිදු කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ එහි සම්පූර්ණ බර ජනතාව මත පැටවීමෙන් වැළකී සිටින බවත් රජය සහ ඉන්ධන සමාගම් ද යම් කොටසක් දරා ගනිමින් මිල ගැලපීම් සිදු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ඉන්ධන පරිභෝජනය සියයට 80ත් 90ත් අතර මට්ටමක පැවති බව අමාත්‍යවරයා පැවසුවේය.

කිසිදු අවස්ථාවක ඉන්ධන සැපයුම සීමා නොකළ බවත් දෛනික අවශ්‍යතා, කර්මාන්ත, ඉදිකිරීම් සහ විදුලි බල උත්පාදනය ඇතුලු සියලු අංශ සඳහා අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබා දී ඇති බවත් සඳහන් කළේය.

තෙල් සැපයුම සහතික කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා මිල වැඩිවීම් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා පැවසුවේය. අවශ්‍ය මිල සංශෝධන සිදු නොකළහොත් ඉන්ධන ආනයනය කරන සමාගම්වලට දැඩි පාඩු සිදුවන බැවින් සැපයුම් දාමයට බාධා ඇති විය හැකි බව ද පෙන්වා දුන්නේය.

මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධනවල මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ද ඔහු පැවසීය.

පෙබරවාරි මාසයේ ඔක්ටේන් 92 පෙට්‍රල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 75.28ක් වූ අතර එය මේ වන විට ඩොලර් 129.67 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 81ක වර්ධනයක් බවත්  ඩිසල් බැරලයක මිල ඩොලර් 82.34 සිට ඩොලර් 148.02 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 80ක වර්ධනයක් බවත් ද ඔහු සඳහන් කළේය.

එසේම , මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 65 සිට ඩොලර් 110 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 70ක වර්ධනයක් බවද අමාත්‍යවරයා පැවසීය.

දැනට පවතින මිල ගණන් අනුව ඩීසල් අලෙවියේදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලීටරයකට රුපියල් 358ක පාඩුවක් ලබන අතර RM Parks රුපියල් 341ක්, සිනොපෙක් සමාගම රුපියල් 186ක් සහ IOC සමාගම රුපියල් 194ක පාඩුවක් ලබන බව ද අමාත්‍යවරයා පැවසීය.

පෙට්‍රල් අලෙවියේදී ද ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් 23ක, RM Parks රුපියල් 157ක, සිනොපෙක් සමාගම රුපියල් 29ක සහ IOC සමාගම රුපියල් 38ක පාඩුවක් ලබන බවද ඔහු සඳහන් කළේය.

තවද අප්‍රේල් මාසයේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන රජය සහන ලබා දීමට පියවර ගත් බවත් ඒ සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 5,700ක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.