ජගත් පරිසර දිනයට සමගාමීව සංවිධානය කර ඇති ජාතික පරිසර සතිය අදන් (30) ආරම්භ වේ. එහි සමාරම්භක වැඩසටහන ලෙස වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් අටවිසි බෝධි වෘක්ෂ රෝපණ හා බෙදාදීමේ වැඩසටහනක් පෙ.ව 09.30 ට මල්කෝන, පෙතියාගොඩ ශ්‍රී වාපිකාරාමයේදී පැවැත්වේ.
"Urgent Climate Action" (කඩිනම් දේශගුණික ක්‍රියාකාරීත්වය) යන ගෝලීය තේමාවට සමගාමීව, ශ්‍රී ලංකාව මෙවර ජගත් පරිසර දිනය “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන දැක්ම යටතේ “දලුලන්න ඉඩදෙන්න” තේමාවෙන් සමරයි. ජාතික පරිසර දින සැමරුම් උත්සවය ජුනි 5 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මැයි 30 සිට ජුනි 5 දක්වා කාලය “ජාතික පරිසර සතිය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.එම සතිය තුළ පරිසර ආකල්ප ප්‍රවර්ධනය, පවිත්‍රතාව, වායු දූෂණ පාලනය, ජෛව විවිධත්ව සංරක්ෂණය, ජල සම්පත් ආරක්ෂාව සහ වෙරළ පවිත්‍ර කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ සහ පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම අනාගත දේශගුණික අභියෝගවලට ඔරොත්තු දිය හැකි පරිසරයක් ගොඩනැගීම කෙරෙහි ද මෙවර වැඩසටහන්වලදී විශේෂ අවධානය යොමු කර ඇත.
ජූනි 1 වැනිදා දේශගුණ විපර්යාස හා වායු දූෂණයේ බලපෑම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වේ. ජෛව විවිධත්ව සංරක්ෂණය තේමා කරගත් දියවන්නා ඔය සංරක්ෂණ වැඩසටහනක් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා නව ට්‍රැක්ටර් රථ ලබාදීමේ වැඩසටහනක් ද එදින පැවැත්වේ.
ජල හා ජල මූලාශ්‍ර සංරක්ෂණය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ජල සම්පත් මණ්ඩල කාර්යාලය විවෘත කිරීම, රිදියගම සමනල උයන හා එහි වෙබ් අඩවිය දියත් කිරීම, වීරකැටිය කුඩා බුබුළ දිය උල්පත සංරක්ෂණය සහ ජල ගුණාත්මකභාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
තවද , ජුනි 4 වැනිදා පේරාදෙණිය උද්භිද උද්‍යානයේදී ඖෂධීය පැළ ප්‍රදර්ශනයක් සහ Electric Cart රථ ලබාදීමේ වැඩසටහනක් පැවැත්වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා ඒකාබද්ධ ජල තාක්ෂණ පර්යේෂණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානය (JRDC) එක්ව අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ වැඩසටහනක් ද සංවිධානය කර ඇත.
“දලුලන්න ඉඩදෙන්න” ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන වනස්පති වැඩසටහන මගින් මේ වන විට හෙක්ටයාර් 63,000කට අධික භූමි ප්‍රමාණයක් ආවරණය වන වනාන්තර 81ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ජගත් පරිසර දිනයට සමගාමීව තවත් වනාන්තර 5ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
පරිසර සංරක්ෂණයට රාජ්‍ය හා පෞද්ගලික අංශ,තරුණ ප්‍රජාව සහ සිවිල් සංවිධාන එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව පරිසර අමාත්‍යංශය අවදානය යොමු කර ඇත.
පරිසර අමාත්‍යාංශය, රුක් රෝපණය, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය සහ ඩිජිටල්කරණය වැනි ක්‍රියාමාර්ග ඔස්සේ තිරසර අනාගතයක් ගොඩනැගීමට සියලු ජනතාවගේ දායකත්වය අපේක්ෂා කරයි.


