ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මහත් භක්තියෙන් හා හරසරින් සමරනු ලබන හජ් උත්සවය (ඊදුල් අල්හා) අද (28) දිනයට යෙදී තිබේ.
ලොව විවිධ රටවල වෙසෙන මිලියන සංඛ්‍යාත ඉස්ලාම් භක්තිකයන් තම ප්‍රධානතම ආගමික උත්සවයක් වන මෙම හජ් උත්සවය අද දිනයේ මහත් භක්තියෙන් යුතුව සමරනු ලබයි. “ත්‍යාගශීලීත්වයේ උත්සවය” ලෙසද හැඳින්වෙන මෙම උත්සවය මඟින් නබිතුමා දෙවියන් වහන්සේට දැක්වූ අසීමිත කැපවීම සහ කීකරුවීම සිහිපත් කෙරේ.
ඉස්ලාම් දහමේ පස්වන ප්‍රධාන කුළුණ වන හජ් වන්දනාව, සෞදි අරාබියේ මක්කම නුවර පිහිටි ශුද්ධ වූ කාබා මන්දිරය වැඳපුදා ගැනීමෙන් සාර්ථකව නිමාවට පත්වීමද මෙදින සනිටුහන් කෙරේ. මේ අතර ලෝක නායකයන්ද ලෝකවාසී මුස්ලිම් ජනතාව වෙත සාමය, සහජීවනය සහ පරිත්‍යාගශීලීත්වය අගය කරමින් සිය සුබපැතුම් පණිවිඩ නිකුත් කර තිබේ.
හජ් උත්සවය නිමිත්තෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක සහ රථ වාහන කළමනාකරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව විශේෂ යාඥා පැවැත්වෙන සියලුම ප්‍රධාන මුස්ලිම් පල්ලි සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම මුස්ලිම් පල්ලි අවට අධික රථ වාහන තදබදය වැළැක්වීම සහ බැතිමතුන්ගේ ගමනාගමනය පහසු කිරීම සඳහා විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර තිබේ.


