රාජ්‍ය විශ්‍රාම වැටුපක් නොලබන පුද්ගලයින්ට විශ්‍රාම වැටුපක්

රාජ්‍ය විශ්‍රාම වැටුපක් නොලබන පුද්ගලයින්ට විශ්‍රාම වැටුපක්
  • SocialShare:

රාජ්‍ය විශ්‍රාම වැටුපක් නොලබන පුද්ගලයින් සඳහා ඔවුන්ගේ සමාජ ආරක්ෂණ සහ විශ්‍රාම වැටුප් අවශ්‍යතාවය ඉටුකිරීම සඳහා සමාජ ආරක්ෂණ මණ්ඩලය පිහිටුවා ඇතැයි සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී කල්හාරි ද සිල්වා මහත්මිය සඳහන් කරයි.

සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී කල්හාරි ද සිල්වා මහත්මිය මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

1996 අංක 17 දරන සමාජ ආරක්ෂණ මණ්ඩල පනතෙන් සමාජ ආරක්ෂණ මණ්ඩලය ආරම්භ කළ බවද අපේ රටේ සේවා නියුක්තියෙන් 55% - 60% ක් පමණ අවිධිමත් අංශයේ සේවයේ යෙදෙන පෙන්වා දුන් සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී කල්හාරි ද සිල්වා මහත්මිය මෙම කණ්ඩායම රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් තුනෙන් එකකට පමණ දායකත්වය ලාදෙන පිරිසක් බවද අවධාරණය කළාය.

මෙම පුද්ගලයන්ගේ සමාජ ආරක්ෂණ අවශ්‍යතාවය සහ විශ්‍රාම වැටුප් අවශ්‍යතාවය ඉටු කරදීම සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ඇරඹි බව සිහිපත් කළ සාමාන්‍යාධිකාරී කල්හාරි ද සිල්වා මහත්මිය මොවුන් රටේ නිෂ්පාදනයට විශාල වශයෙන් මැදිහත් වන පිරිසක් බවද එම පුද්ගලයන් අවුරුදු 60 ඉක්මවූ පසු ඔවුන්ගේ විශ්‍රාම දිවියට කුමක් වෙනවාද යන්න නොසිතන කණ්ඩායමක් බවද පැවසුවාය.

වර්තමානයේ පවුලක සිටින සාමාජික සංඛ්‍යාව 3.5කට පමණ අඩුවී ඇතැයිද එම දරුවන්ද අධ්‍යාපනය සදහා හෝ රැකියාවක් සදහා නාගරීකරණය වී ඇතැයි පෙන්වා දුන් කල්හාරි ද සිල්වා මහත්මිය මෙම තත්ත්වය සමග වැඩිහිටි පිරිස රැකබලා ගැනීමේ ප්‍රශ්නයක් මතුවන බවද පැවසුවාය.

රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදුන් පිරිස රැකබලා ගැනීමක් නොමැතිව අසරණ වන තත්ත්වයකට පත්වන බව වර්තමානයේ දක්නට ලැබේ යැයිද අද වන විට සෑම පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙක්ම වයස අවුරුදු 60 ඉක්මවා ඇතැයිද පැවසුවාය. දකුණු ආසියාතික රටවල් වලින් වැඩියෙන්ම ජනගහණය වියපත් වීමේ රට ශ්‍රී ලංකාව බවද 2035 – 2040 වන විට සෑම හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් වන බවද සදහන් කළාය.

අපි අද ආදායම් ලබන දවසේම හෙටත් නිදහසේ ගතකිරීමට නම් අද සිටම විශ්‍රාම වැටුපක අවශ්‍යතාවය හොඳාකාරයෙන්ම අවබෝධ කරගත යුතු යැයිද ඒ සදහා සමාජ ආරක්ෂණ මණ්ඩලය යෝජනා ක්‍රම කිහිපයක්ම හඳුන්වා දී ඇතැයිද පැවසුවාය.

ඔබ කුමන වෘත්තිකයෙකු වුවද ඔබට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සමග එකතු විය හැකි යැයිද ඔබ දෛනික ආදායම්ලාභියෙකු , අවිධිමත් අංශයේ සේවකයෙකු හෝ ස්වයංරැකියා ලාභියෙකු වුවද මේ සදහා දායක විය හැකි බවද අවධාරණය කළාය.

මෙම සෑම අංශයකම වෘත්තිකයන්ට ආදායම් උපයන ගමන් තමන්ගේ විශ්‍රාම වැටුප ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සමග එක්ව සැලසුම් කරගත හැකි  බවද වැඩිදුරටත් පැවසුවාය.