මෙරට විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන හා අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු නිරාකරණය කරමින් එම කර්මාන්තය දියුණු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (18) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි ප්‍රධාන පෙළේ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් පිරිසක් මෙම හමුවට එක් වූහ. මෙහි දී ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) හරහා ක්‍රියාත්මක කරන ක්‍රියාකාරී සැලැස්මේ ඉදිරි පියවර කඩිනම් කිරීමට තීරණය විය.
මෙහිදී අදහස් දක්වමින් ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මීට පෙර පැවති සීමා පැනවීම් හේතුවෙන් කර්මාන්තය තුළ සිදු වූ කඩා වැටීම් වැළැක්වීම සඳහා විනිවිදභාවයෙන් යුතු නව ආනයන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව, ව්‍යාපාරික අවශ්‍යතාව මත පදනම්ව, නීත්‍යානුකූලව මත්ස්‍ය වර්ග ආනයනය කිරීමට කර්මාන්තකරුවන්ට අවස්ථාව සැලසෙන බවයි.
මෙරටට ආනයනය කිරීමට අවසර නොමැති මත්ස්‍ය වර්ග සම්බන්ධයෙන් වන ලැයිස්තු සංශෝධනය කිරීමේදී විද්වත් කමිටුවක් හමුවේ සිය කරුණු ඉදිරිපත් කිරීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා දෙන බවද වැඩිදුරටත් පැවසුවේය.
විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කුඩා පරිමාණ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින්ට සහන සැලසීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව, සිදුවූ අලාභහානි සලකා බලා රුපියල් 75,000 සහ රුපියල් 50,000 බැගින් වූ මූල්‍ය ආධාර කඩිනමින් පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇති බව ද සදහන් කළේය.
මත්ස්‍ය ආහාර මිලදී ගැනීමට පවා අපහසුව සිටින වගාකරුවන් හට මෙය මහඟු අස්වැසිල්ලක් වන අතර
මෙම කර්මාන්තය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් ගැටලු විසඳීම සඳහා සෑම මාස දෙක තුනකට වරක් කර්මාන්තකරුවන් සමඟ සෘජුව සාකච්ඡා කිරීමටද මෙහිදී එකඟතාව පළ විය.
මෙම අවස්ථාවට NAQDA ආයතනයේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා, පෞද්ගලික ලේකම් එච්.එස්. හතුරසිංහ මහතා සහ සම්බන්ධීකරණ ලේකම් ඩබ්ලිව්.ඒ.ජේ. මල්කුමාරි මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


