නාවික හමුදාවට එක්වූ නවක නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

නාවික හමුදාවට එක්වූ නවක නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ
  • SocialShare:

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2025/01 ඉඳුරාම බඳවා ගැනීමේ ප්‍රවේශය යටතේ බඳවාගත් නවක නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා (15)  නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී නිත්‍ය නාවික හමුදාවේ විධායක, සැපයුම්, තොරතුරු තාක්ෂණ, සිවිල් ඉංජිනේරු සහ නාවික පාබල අංශයන් සඳහා මෙන්ම ස්වේච්ඡා නාවික හමුදාවේ විධායක , මනෝ වෛද්‍ය උපදේශන සහ ගිණුම්කරණ අංශයන් සඳහාත් බඳවාගත් නවක නිලධාරීන් 27 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.

අදහස් දැක්වූ නාවික හමුදාධිපතිවරයා , ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වූ නවක නිලධාරීන් වෙත සිය උණුසුම් සුභාශිංසන පිරිනැමීය. රට වෙනුවෙන් සේවය කිරීමට තම දූ පුතුන් දිරිමත් කළ දෙමාපියන්ගේ සහ ආදරණීයයන්ගේ කැපවීම හා සහයෝගය ද විශේෂයෙන් අගය කළේය.

නාවික හමුදා පුහුණුව ශාරීරික හැකියාවන් වර්ධනය කිරීම පමණක් නොව, විනයගරුකභාවය, නායකත්ව හැකියාවන්, කණ්ඩායම් හැඟීම සහ අභියෝගාත්මක අවස්ථාවල නිවැරදි තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කරන වැදගත් ක්‍රියාවලියක් බවද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, බටහිර නාවික විධානයේ ආඥාපතිතුමා, නව පත්වීම් ලද නිලධාරීන්ගේ දෙමාපියන් සහ ආදරණීයයන් ඇතුළු ආරාධිත පිරිසක් සහභාගී වී සිටියහ.