පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකර විදුලිබිල අඩුකිරීමට සැලැස්මක් තිබෙනවා - බලශක්ති ඇමති

පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකර විදුලිබිල අඩුකිරීමට සැලැස්මක් තිබෙනවා - බලශක්ති ඇමති
  • SocialShare:

පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකිරීම සහ ජල විදුලිය නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම තුළින් ජනන වියදම අඩුකරමින් ඉදිරියේදී විදුලිබිල අඩුකිරීමට සැලැස්මක් ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (15) විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම තෝරාගත් සේවකයින්ට මූල්‍ය වන්දි ලබාදීමේ උත්සවයට එක්වෙමිනි.

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන ලංවිම සේවකයින් 1898 දෙනෙකුට මූල්‍ය වන්දි ලබාදීම දෙහිවල EDL D4 ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපි බලාපොරොත්තු වුණු ප්‍රධාන කරුණු කීපයකින් එකක් තමා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම, ඒ අනුව පාරිභෝගිකයාට උසස් සේවයක් ලබාදෙන ආයතන බවට අළුතින් පිහිටුවන ආයතන පත් කරමින් ප්‍රතිව්‍යුහගතකරණයෙදී රටේ ජනතාවට ලබාදුන් පොරොන්දුව ඉෂ්ඨ කරන්න කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල තුළ සේවකයින්ට දුන්න පොරොන්දු ඒ විදියහටම ඉෂ්ට කරන්නත් මේ වෙන කොට අපට පුලුවන් වෙලා තියෙනවා. අද විශ්‍රාම වන්දි දීමනා ලබන ඔබ සියලු දෙනාගේම බලාපොරොත්තු, සුභ සිහින ඒ විදිහටම ඉෂ්ට වේවා කියලත් මා ප්‍රාර්ථනා කරනවා. “ යනුවෙන්ද පැවසීය.

මෙම අවස්ථාවට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, විදුලිබල අනුප්‍රාප්තික ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.