ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර, එය ඉදිරි පැය 36 තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවද අනතුරු අඟවා තිබේ.
එසේම ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දැනුම් දී ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.


