‘වාරි මහිම අපේ උරුමය’ ජාතික වැඩසටහනට සමගාමීව දිට්වා ආපදාවෙන් හානි වූ ලෝක උරුම ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු ඊයේ (10) ආරම්භ කෙරිණි.
මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා රුපියල් මිලියන 309කට අධික මුදලක් වෙන් කර ඇති අතර, එහි ඇස්තමේන්තුගත මුදල රුපියල් 309,144,000ක් ලෙස සඳහන් වේ.
වැඩසටහනට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් වී වගාව සඳහා යොදාගෙන ඇති බවයි.
යල කන්නයට අවශ්‍ය පොහොර බෙදාහැරීම මේ වනවිට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ආරම්භ කර ඇති බවත්, රජයේ ඉල්ලීමකට අනුව තාවකාලිකව නවතා තිබූ පෞද්ගලික අංශයේ යූරියා බෙදාහැරීමද යළි ආරම්භ කිරීමට අවසර ලබාදී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
වී සඳහා රුපියල් 120ක මිලක් ලබා දුන්නද ගොවීන්ට තවමත් සාධාරණ ප්‍රතිලාභ නොලැබීම රජය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බවද ඔහු පෙන්වා දුන්නේය. එම ගැටලු විසඳීම සඳහා වැඩපිළිවෙළ රැසක් සැලසුම් කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අලුතින් වී වගාව සඳහා භූමි ප්‍රමාණය වැඩි කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බවත්, දැනට වගා කරන භූමියෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම රජයේ ප්‍රධාන අරමුණ බවත් ඔහු අවධාරණය කළේය. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ අනුව නිසි කාලයට නිසි ප්‍රමාණයෙන් පොහොර සහ අනෙකුත් යෙදවුම් භාවිත කිරීමේ වැදගත්කමද ඔහු සිහිපත් කළේය.
අස්වැන්න එකවර වෙළඳපොළට පැමිණීම හේතුවෙන් මිල සහ අලෙවිය සම්බන්ධ ගැටලු මතුවන බවත්, ගොවීන්ට තම වී තොග වියළා ගබඩා කර තබා ගැනීමට හැකි ක්‍රමවේදයක් හඳුන්වාදීමට රජය සැලසුම් කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
ප්‍රමිතිගත ලෙස වියළන ලද වී රජයේ ගබඩාවල තැන්පත් කර අවශ්‍ය අවස්ථාවක ආපසු ලබා ගැනීමට හැකි වැඩපිළිවෙළක්ද සකස් කිරීමට නියමිත බව සඳහන් කෙරිණි.
ගොවීන්ගේ ආදායම් විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, වී වගාවට අමතරව කිරි ගව පාලනය වැනි අමතර ආදායම් මාර්ග වෙත යොමුවීම ගොවි ජනතාවට වාසිදායක බවද ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුව සුනිල් සෙනෙවි මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි මහතා සහ පද්මසිරි බණ්ඩාර මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ රජයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ


