ඉන්දු-පැසිෆික් සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව හා යුරෝපා සංගමය අතර සාකච්ඡා

ඉන්දු-පැසිෆික් සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව හා යුරෝපා සංගමය අතර සාකච්ඡා
  • SocialShare:

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා සහ යුරෝපා සංගම් බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) ඉන්දු-පැසිෆික් කලාපය සඳහා වූ යුරෝපා සංගම් විශේෂ නියෝජිත මාරියා කැස්ටිලෝ මහත්මිය අතර හමුවක් අද (09) කොළඹදී පැවැත්විණි.

ඇයගේ ශ්‍රී ලංකාවේ නිල සංචාරය අතරතුර පැවති මෙම හමුවේදී, 2025 නොවැම්බර් මාසයේ බ්‍රසල්ස්හි පැවති 04 වන යුරෝපා සංගම් ඉන්දු-පැසිෆික් අමාත්‍ය සංසදයේදී ඇති වූ සාකච්ඡා මත පදනම්ව දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.

ඉන්දියානු සාගරය හා ඉන්දු-පැසිෆික් කලාපය තුළ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම, ගෝලීය සම්බන්ධතා, වෙළඳාම සහ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

සමුද්‍රීය ආරක්ෂාව සහ නාවික ගමනාගමන කටයුතු ආරක්ෂා කිරීමේදී UNCLOS සම්මුතියේ වැදගත්කම නැවත තහවුරු කරමින්, CRIMARIO සහ IORIS වැනි කලාපීය මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය පිළිබඳව ද සාකච්ඡා විය.

බලශක්ති ආරක්ෂාව සහ ගෝලීය සම්බන්ධතා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද පෙරදිග වත්මන් තත්ත්වය හේතුවෙන් බලශක්ති ආරක්ෂාව, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය හා ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි ඇති බලපෑම් පිළිබඳව ද අවධානය යොමු විය.

විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය, හරිත බලශක්තිය සහ සම්බන්ධතා ආශ්‍රිත ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව තුළ යුරෝපා සංගම් ආයෝජන වැඩි කිරීමේ හැකියාව පිළිබඳව යුරෝපා සංගම් විශේෂ නියෝජිතවරිය සඳහන් කළාය. ගෝලීය අභියෝග හමුවේ හවුල්කාරිත්වයන් විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළාය.

නව රෙගුලාසි යටතේ ශ්‍රී ලංකාව GSP+ යෝජනා ක්‍රමයට නැවත අයදුම් කිරීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළ අතර, නීතියේ ආධිපත්‍යය, යහපාලනය සහ මානව හිමිකම් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම ද නැවත තහවුරු කළේය.

මැයි 9 වන දින සමරනු ලබන යුරෝපීය දිනය නිමිත්තෙන් විශේෂ නියෝජිතවරියට සහ ඇයගේ දූත පිරිසට සුබ පැතුම් ද එක් කරනු ලැබීය.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි ගරු කාමන් මොරෙනෝ මහත්මිය, කොළඹ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගී වූහ.