ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, විදේශීය රාජ්‍ය නායකයින් සහ ඉහළ පෙළේ නියෝජිතයින් කිහිප දෙනෙක් මේ දිනවල දිවයිනට පැමිණ සිටිති.
ඒ අනුව, මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා දිවයිනට පැමිණ සිටින අතර, වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා ද නිල සංචාරයකට පැමිණීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව, මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ඊයේ(03) දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.
මෙම සංචාරයේ ප්‍රධාන වැඩසටහන් ලෙස අද (04) දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පිළිගැනීමේ උත්සවය පැවැත්වුණු අතර, අනතුරුව දෙරටේ නායකයන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීම අරමුණු කර ගනිමින්, විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබුණි.
එමෙන්ම, කොළඹදී පැවැත්වෙන විශේෂ ව්‍යාපාරික හමුවකට ද එතුමා සහභාගී වීමට නියමිතය.
රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මැතිතුමා ඇතුළු හත් දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසද ඊයේ (03) දිවයිනට පැමිණියේය.
අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා , විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ එම පිරිස අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.
එමෙන්ම , කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඖෂධ, වෛද්‍ය උපකරණ සහ විශේෂඥ පුහුණුව ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට ද අපේක්ෂා කෙරේ.
අදාළ නියෝජිත පිරිස 2026 මැයි 05 වන දින දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා එළඹෙන මැයි 07 වනදා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත අතර, මැයි 08 වනදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.
එදින පෙරවරු 11:05ට පමණ පාර්ලිමේන්තුවට පැමිණෙන එතුමා, විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.
මෙම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයන් මගින් ශ්‍රී ලංකාව සහ අදාළ රටවල් අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා නව මාවතකට යොමු වනු ඇති බවට අපේක්ෂා කෙරේ.


