දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් පවුල් සඳහා අන්තර්කාලීන නිවාස ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් පවුල් සඳහා අන්තර්කාලීන නිවාස ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
  • SocialShare:

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් පවුල් සඳහා අන්තර්කාලීන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

එම ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණයෙන් හානි වූ නිවාස 6,088ක් සහ අර්ධ හානි වූ නිවාස 115,179ක් වාර්තා වී ඇත. අප්‍රේල් 22 වන විට පවුල් 496ක් දිස්ත්‍රික්ක 04ක පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථාන 20ක් තුළ තාවකාලිකව රැඳී සිටින අතර, තවත් පිරිසක් කූඩාරම් සහ ඥාති නිවාසවල පදිංචිව සිටිති.

නායයෑම් සහ ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා නව නිවාස ඉදිකරගන්නා තෙක් මාසික රුපියල් 25,000ක කුලී දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබුණද, බලපෑමට ලක් වූ ප්‍රදේශවල කුලී නිවාස සපයා ගැනීම දුෂ්කර වී ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඉදිරිපත් කළ නිවාස සැලැස්ම අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වය යොදාගෙන කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි සුරක්ෂිත මධ්‍යස්ථාන, කූඩාරම් සහ ඥාති නිවාසවල පදිංචිව සිටින පවුල් 1,000ක් සඳහා ස්ථිර නිවාස ඉදිකරන තෙක් අන්තර්කාලීන නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම යෝජනාව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.