දඹුල්ල මූලික රෝහල සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සඳහා එය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය යටතට පවරා ගැනීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
මධ්යම පළාත් සභාව යටතේ පාලනය වන ‘ඒ’ ශ්රේණියේ රෝහලක් වන දඹුල්ල මූලික රෝහල, 2022–2032 දඹුල්ල සංවර්ධන අරමුණු සැලකිල්ලට ගනිමින් වෙනත් ස්ථානයක නැවත ස්ථානගත කිරීම සඳහා යෝජනා කර ඇත.
මෙම රෝහලෙන් මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුණෑගල යන දිස්ත්රික්කවල සමාන්යයෙන් 230,000කට ආසන්න ජනතාවට සෞඛ්ය සේවාවන් සපයනු ලබයි.
රෝහල නැවත ස්ථානගත කිරීම සඳහා රුපියල් බිලියන 7ක පමණ පිරිවැයක් ඇස්තමේන්තු කර ඇති අතර, ඒ සඳහා අක්කර 05ක පමණ ඉඩම් කොටසක් මේ වන විටත් ලබාගෙන ඇත.
එම පිරිවැය දරා ගැනීමට මධ්යම පළාත් සභාවට හැකියාව නොමැති බැවින්, රෝහල මධ්යම රජයට පවරා ගෙන සංවර්ධනය කිරීම සඳහා මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් එකඟතාව පළ කර ඇත.
මෙම රෝහල මූලික සෞඛ්ය සත්කාර සේවාවන්ට අමතරව ප්රධාන විශේෂඥ වෛද්ය සේවාවන්ද සපයන අතර, එහි ඇඳන් ධාරිතාව 354කි. මහජනතාවගේ සෞඛ්ය සේවා ඉල්ලුම ඉහළ ප්රමිතියකින් සපුරාලීම සඳහා ප්රමාණවත් ඉඩකඩ සහ වැඩිදියුණු කළ යටිතල පහසුකම් සැපයීම අත්යවශ්ය බව හඳුනාගෙන ඇත.
ඒ අනුව, දඹුල්ල මූලික රෝහල සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය යටතට පවරා ගැනීම සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.


