දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට සහය වීමට “සෙනෙහසේ නෑගම් යාම” වැඩසටහන ඊයේ (04) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහභාගීත්වයෙන් බදුල්ල වීල්ස් පාර්ක් ක්‍රීඩාංගනයෙන් ආරම්භ විය.
ආපදා තත්ත්වය හේතුවෙන්, මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 19ක පවුල් 558ක් රැඳී සිටින අතර, නිවාස අහිමි වීමෙන් තාවකාලිකව කුලී නිවාසවල දිවි ගෙවන පිරිස් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම මෙම වැඩසටහනින් සිදු කෙරේ.
ඔවුන්ගේ අවුරුදු සැමරුම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, වියළි ආහාර සහ තෑගි බෝග රැගෙන දිස්ත්‍රික්කය පුරා පිහිටි බදුල්ල, සොරණාතොට, වැලිමඩ, ඌවපරණගම, පස්සර, ලුණුගල, හාලි ඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් හි පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම ඊයේ (04) සිදු විය.
අමාත්‍යවරයා බදුල්ල වේවැස්ස සුරක්ෂිත මධ්‍යස්ථානයේ රැඳී සිටින පවුල් 17ක් සහ නිවාස අහිමි වීම හේතුවෙන් තාවකාලිකව කුලී නිවාසවල දිවි ගෙවන පවුල් 150ක් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, වියළි ආහාර සහ තෑගි බෝග ලබා දීමේ අවස්ථාවට ද එක් විය.
විපතට පත් ජනතාවට සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ මානසිකව හුදෙකලා වීම වැළැක්වීමත්, ඔවුන්ගේ හුදෙකලාභාවය අඩු කිරීම සහ අවුරුදු සතුට බෙදාගැනීමට අවස්ථාව සලසා දීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් මහතා, බදුල්ල නගරාධිපතිතුමා, බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිත්වයද, ඌව පළාත් ක්‍රීඩා හා සංචාරක කටයුතු අමාත්‍යංශ ලේකම්තුමා, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන් හා ලේකම්තුමිය, සහකාර දිස්ත්‍රික් ලේකම්තුමන්, බදුල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.


