ශ්‍රී ලංකාව දැඩි බලශක්ති අවශ්‍යතාවයකින් පසුවන මෙම අවස්ථාවේදී රුසියාවෙන් ලැබෙන සහය දැඩි ලෙස අගය කරන බව විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Andrey Rudenko මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර ඊයේ (02) පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
වසර 70කට ආසන්න කාලයක් පුරා පැවති දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට සුදුසුම කාලය මෙය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරියේදී රුසියාව සමඟ දීර්ඝකාලීන වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමටද කටයුතු කරන බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව අතිශය සුන්දර රටක් වන අතර එහි ජනතාව ඉතා සුහදශීලී බව රුසියානු සංචාරකයින්ගේ අත්දැකීම් මඟින් දැනගන්නට ලැබුණු බවයි. එසේම ශ්‍රී ලංකාව රුසියාවේ දිගුකාලීන මිතුරෙකු බවද ඔහු සිහිපත් කළේය.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකම සහය ලබාදීමට රුසියාව සූදානමින් සිටින බවයි. ඒ අනුව, මෙරටට අවශ්‍ය රුසියානු තෙල් කඩිනමින් සැපයීමටත්, රුසියානු ආයෝජකයින් මෙරට නව ආයෝජන සඳහා යොමු කිරීමටත්, තවදුරටත් රුසියානු සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමටත් කටයුතු කරන බවට පොරොන්දු විය.
එසේම, රුසියාවේදී මියගිය ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ සාමාජිකයින් වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ගැනීමටද ඔහු එකඟතාව පළ කළේය.


