රුසියානු සමාජවාදී සමූහාණ්ඩුව විසින් ලබාදෙන මානවීය හා ජාත්‍යන්තර සහය පිළිබඳව ශ්‍රී ලංකාව මහත් ලෙස අගය කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
රුසියානු ෆෙඩරේෂන් කවුන්සිලයේ ජාත්‍යන්තර කටයුතු කමිටුවේ ප්‍රථම උප සභාපති ඇන්ඩ්‍රේ දෙනිසෝව් මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර හමුවක් පසුගියදා (30) පැවැති අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
රුසියාව සමඟ සබඳතා ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ කැපවීම පිළිබදව ද මෙහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා සිහිපත් කළේය.
2026 වසරේදී රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 70ක් සපිරෙන බව රුසියානු ෆෙඩරේෂන් කවුන්සිලයේ ජාත්‍යන්තර කටයුතු කමිටුවේ ප්‍රථම උප සභාපති ඇන්ඩ්‍රේ දෙනිසෝව් මහතා මෙහිදී පැවසුවේය.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා දශක කිහිපයක් පුරා සාර්ථක ලෙස වර්ධනය වී ඇතැයිද දෙරට අතර දේශපාලනිකව සක්‍රීය සංවාදයක් පවතින අතරම පාර්ලිමේන්තු සංවාදය ද්විපාර්ශ්වික සබඳතා වල වැදගත් කොටසක් වේ යැයි දෙනිසෝව් මහතා වැඩිදුරටත් පැවසුවේය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ රුසියාව සමඟ මිතුරු සංගමයක් ස්ථාපිත කර ඇති බවත්, එම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළ දෙනිසෝව් මහතා රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මට්ටමේ සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබදව රුසියානු සෙනෙට් සභිකයන් වැඩි අවධානය යොමු කරමින් සිටින බවද අවධාරණය කළේය.
තවද, දෙරටේ නියෝජිතයන් දෙපාර්ශ්වීයව පමණක් නොව ජාත්‍යන්තර වේදිකාවලදී ද විශේෂයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමය තුළ සංවාද වර්ධනය කිරීමට අදහස් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙම හමුවේදී දේශපාලන, ආර්ථික හා අධ්‍යාපන ක්ෂේත්‍ර ඇතුළු විවිධ කරුණු පිළිබඳව පුළුල් සංවාදයක් සිදු විය.
එසේම, 2026 අප්‍රේල් 1 සිට 3 දක්වා ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවැත්වීමට නියමිත ප්‍රථම ජාත්‍යන්තර ප්‍රවාහන හා ලොජිස්ටික්ස් සංසදය පිළිබඳවද රුසියානු සෙනෙට් සභාව විසින් දැනුවත් කළේය.
මෙම හමුවට ෆෙඩරේෂන් කවුන්සිලයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුවේ සාමාජික යෙව්ගිනි දිත්‍රික් මහතාද සහභාගී විය.


