බම්බලපිටිය දුම්රිය ස්ථානය නවීකරණ කටයුතු ඊයේ (19) ආරම්භ කර ඇති අතර, එය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අධීක්ෂණයෙන් සහ Clean Sri Lanka ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක වන “Dream Destination” වැඩසටහන යටතේ සිදු වන අතර, දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීම මෙහි අරමුණ වේ.
මෙම වැඩසටහන යටතේ ගාල්ල තල්පේ දුම්රිය ස්ථානය නවීකරණය කර ජනතා භාවිතයට ලබා දී ඇති අතර, නාරාහේන්පිට, දෙහිවල, මරදාන, මහනුවර ඇතුළු ස්ථාන රැසකද නවීකරණ කටයුතු සිදු කෙරෙමින් පවතී.
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දිගුකාලීනව පවතින අඩුපාඩු මාස 5ක් ඇතුළත සම්පූර්ණයෙන් යථාවත් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව මගී වේදිකා නවීකරණය, පිරිසිදුකම වැඩිදියුණු කිරීම, ආලෝක හා CCTV පද්ධති ස්ථාපනය, වැසිකිලි හා ආසන පහසුකම් වර්ධනය, ආබාධිත පුද්ගලයින්ට පහසු ප්‍රවේශ මාර්ග සකස් කිරීම, කාලසටහන් පුවරු විධිමත් කිරීම සහ වහල හා යකඩ පඩිපෙළ අලුත්වැඩියා කිරීම ඇතුළු කටයුතු සිදු කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 600ක පිරිවැයක් ඇස්තමේන්තු කර ඇති අතර, කඩිනම් ව්‍යාපෘතියක් ලෙස මාස පහක කාලයක් තුළ වැඩ අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම නවීකරණ කටයුතු Dawoodi Bohras ප්‍රජාවගේ මූල්‍ය දායකත්වයෙන් සිදු වන අතර, ඉදිකිරීම් කටයුතු Amic Engineering Private Limited විසින් ඉටු කරයි.
තවද, මෙම නවීකරණයට සමගාමීව බම්බලපිටිය ගුවන් පාලම ප්‍රතිසංස්කරණය කිරීම සහ දුම්රියපල ඉදිරිපිට නිල නිවාස වැඩිදියුණු කිරීම සඳහාද පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.


