පුනර්ජනනීය බලශක්තියෙන් ශ්‍රී ලංකාවට සහය දීමට නෝර්වේ සූදානම්

පුනර්ජනනීය බලශක්තියෙන් ශ්‍රී ලංකාවට සහය දීමට නෝර්වේ සූදානම්
  • SocialShare:

සුළං, සූර්ය සහ සාගරයේ උදම් රළ මඟින් නිපදවන ශක්ති භාවිත කර බලශක්තිය නිපදවීමට ශ්‍රී ලංකාවට සහය විය හැකි බව නෝර්වේ කොන්සලර් Sturle Harald Pedersen මහතා පවසයි.

ඊයේ (18) නෝර්වේ කොන්සලර්වරයා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම අදහස් ප්‍රකාශ කෙරිණි.

මෙහිදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳවද විශේෂ අවධානය යොමු කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපද්‍රව්‍ය වැඩි වශයෙන් පවතින ප්‍රදේශ හඳුනාගෙන, එම ප්‍රදේශවල ගෑස් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නෝර්වේ රටේ අවධානය යොමු වී ඇති බවද කොන්සලර්වරයා සඳහන් කළේය.

තවද, ශ්‍රී ලංකාවේ දිවා කාලයේදී සූර්ය බලශක්තිය වැඩි වශයෙන් නිෂ්පාදනය වන බැවින්, එම අමතර ශක්තිය භාවිත කර ජලය විද්‍යුත් විච්ඡේදනය කිරීමෙන් හයිඩ්‍රජන් නිෂ්පාදනය කර එය ඉන්ධනයක් ලෙස භාවිත කළ හැකි බවද ඔහු පැවසීය.

මෙම කරුණු සම්බන්ධයෙන් සකස් කළ ව්‍යාපෘති වාර්තාවක්ද මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා වෙත භාර දී තිබේ.