අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ කෘෂිකාර්මික පර්යේෂණ යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (09) පිලිපීන ආයතන සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූවාය.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරිය පසුගියදා (08) පිලිපීනයේ මැනිලා නුවර නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය අතර, එම සංචාරය අතරතුර මෙම සාකච්ඡා සිදු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, තාක්ෂණික කුසලතා සංවර්ධනය සහ කෘෂිකාර්මික පර්යේෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යවරිය ඊයේ (09) පිලිපීනයේ අධ්‍යාපන ලේකම් Sonny Angara මහතා හමුවිය. මෙම සාකච්ඡාවේදී අධ්‍යාපන ප්‍රතිපත්ති, ගුරු පුහුණු වැඩසටහන්, විෂයමාලා ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් ඉගෙනුම් ක්‍රියාවලිය ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය යොමු විය. එමෙන්ම විෂයමාලා නවීකරණය සහ ඉගෙනුම් ක්‍රියාවලියට තාක්ෂණය ඒකාබද්ධ කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැහැදිලි කළාය.
මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ උසස් අධ්‍යාපන කොමිසමේ (CHED) සභාපති ආචාර්ය Shirley C. Agrupis මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ද හමුවිය. මෙහිදී දෙරටේ උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු අතර පර්යේෂණ සහයෝගීතාව, විශ්වවිද්‍යාල අතර අධ්‍යයන හවුල්කාරිත්වය, ශිෂ්‍ය හා පීඨ හුවමාරු වැඩසටහන් සහ තත්ත්ව සහතික රාමු ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
මීට අමතරව අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ තාක්ෂණික අධ්‍යාපන හා කුසලතා සංවර්ධන අධිකාරියේ (TESDA) ලේකම් සහ අධ්‍යක්ෂ ජනරාල් Jose Francisco B. Benitez මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වූවාය. මෙහිදී දැනුම හුවමාරු වැඩසටහන්, ආයතනික හවුල්කාරිත්වය, කුසලතා හඳුනා ගැනීම සහ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා සුදුසුකම් රාමු පෙළගැස්වීම ඇතුළුව තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව අවධානය යොමු විය.
තිරසාර සංවර්ධනය සහ මානව ප්‍රාග්ධන වර්ධනයට සහාය වීම සඳහා අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ කෘෂිකාර්මික පර්යේෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා සහ පිලිපීන රජයන්ගේ කැපවීම මෙම සාකච්ඡා මගින් තවදුරටත් තහවුරු විය.
මෙම සංචාරයට එක් වූ ශ්‍රී ලංකා දූත පිරිසට පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා මහතා සහ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එච්. පියුමි බණ්ඩාර මහත්මිය ද ඇතුළත් වූහ.


