“රටම එකට ජාතික මෙහෙයුම”ට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ දැනුවත් කිරීම් අදත් දිවයින පුරා

“රටම එකට ජාතික මෙහෙයුම”ට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ දැනුවත් කිරීම් අදත් දිවයින පුරා
  • SocialShare:

“රටම එකට ජාතික මෙහෙයුම”ට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ජනතා දැනුවත් කිරීමේ වැඩසටහන් ඊයේ දිනයේදීත් දිවයින පුරා පැවැත්වුණි.

“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” පසුගිය මාර්තු 01 වැනිදා ආරම්භ වූ අතර අද එහි 06 වන දිනයයි.

මෙහිදී, විෂ මත්ද්‍රව්‍ය අලෙවිය පාලනය කර මර්දනය කිරීමත්, විෂ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් ඉන් මුදාගෙන පුනරුත්ථාපනයට යොමු කිරීමත් යන මූලික අරමුණු දෙක ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ජනතා දැනුවත්භාවය සහ සමාජ කතිකාවතක් වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම සතිය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, මෙම සතිය තුළ රාජ්‍ය ආයතන, පාසල් සහ බිම් මට්ටමින් පුළුල් දැනුවත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. රජයේ අමාත්‍යාංශ ඇතුළු සියලු අනුබද්ධ ආයතනවල නිලධාරීන්ගේ දායකත්වයෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.

පාසල් ගුරුවරුන් හා සිසු දරුවන් මෙන්ම පොදු මහජනතාව දැනුවත් කිරීම සඳහා විවිධාංගීකරණය කළ නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර, පොදු ප්‍රවාහනයේ නියුතු බස් රථ, ත්‍රිරෝද රථ සහ පාසල් ප්‍රවාහන රථ මූලික කරගනිමින් විවිධ ප්‍රචාරක ක්‍රියාකාරකම් මාර්තු 01 වැනිදා සිට සිදු කෙරිණි.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටු දැකීම සඳහා අදාළ රාජ්‍ය ආයතන මඟින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ඇතුළු අනෙකුත් මැදිහත්වීම්ද ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙම ජාතික මෙහෙයුම සාර්ථක කර ගැනීමට අත්‍යවශ්‍ය වන පුළුල් සමාජ දැනුවත්භාවයක් ඇති කිරීම මෙම සියලු වැඩසටහන් තුළින් අපේක්ෂා කෙරේ.