මැදපෙරදිග යුද්ධය හේතුවෙන් දිවි අහිමි වූ සියලු දෙනා වෙනුවෙන් කණගාටු වන බවත් රාජ්‍ය නායකයින් , රාජ්‍ය තාන්ත්‍රිකයින්,සාමාන්‍ය ජනතාව , පාසල් දරු දැරියන් ,කුඩා දරුවන් සියලු දෙනා යුද්ධයේ වින්දිතයන් බවත් මෙම යුද තත්වය කඩිනමින් අවසන් වීම රජයේ ප්‍රාර්ථනාව වන බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
ගැටුම්වලට මැදිහත් වන සියලු පාර්ශ්වයන් සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලු විසඳාගනු ඇති බවට රජය විශ්වාසය පළ කරන බවද හෙතෙම සඳහන් කළේය.
2වැනි ලෝක යුද්ධයෙන් පසුව මෙවැනි යුද ගැටුම් වළක්වා ගැනීම සඳහවා පිහිටවූ ජාත්‍යන්තර ආයතන පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා බොහෝ රටවල් එම ආයතනවල සාමාජිකත්වය දරන බවත් මෙම යුද ගැටුම වැළැක්වීමට එම ආයතනවලට වගකීමක් පවතින බවත් එම ආයතන සිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඒ සඳහා දායක විය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
එසේම වර්තමානයේ පවතින තාක්ෂණය සමග, යුද්ධය යනු එක් භූගෝලීය සීමාවකට පමණක් සීමා නොවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම තත්වය කවදා කෙසේ වර්ධනය විය හැකි දැයි පැවසිිය නොහැකි බවත් රටක් ලෙස මැදිහත් විය හැකි ඕනෑම ආකාරයකට ඉල්ලීමක් ලෙස හෝ මෙම ගැටුම් අවම කිරීමට මැදිහත් වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මැදපෙරදිග කලාපයේ අනතුරට පත් වී ඇති බව පවසන අමාත්‍යවරයා මෙම යුද ගැටුම හේතුවෙන් ලෝකයේම ආර්ථිකය මෙන්ම සාමය අවදානමට ලක් වී ඇති බවත් කුමන පාර්ශ්වයක් මෙම යුද වාතාවරණය ආරම්භ කළද කෙතරම් දුරකට වර්ධනය වී තිබුණද රජයේ බලාපොරොත්තුව කඩිනමින් මෙම යුද ගැටුම් අවසන් වීම බවද හෙතෙම පැවසීය.
යුද ගැටුම්වලින් සාමාන්‍ය ජනතාව වින්දිතයන් බවට පත් නොවිය යුතු ය යන ස්ථාවරයේ රජය සිටින පව පවසන අමාත්‍යවරයා යුද්ධය කිසිදිනෙක ලෝකයට ප්‍රගතියක් අත් කර දී නොමැති බවත් ලෝකයේ ගමනට බාධාවක් මිස රුකුලක් වී නොමැති බවත් අධිරාජ්‍යවාදීන්ගේ හෝ වෙනත් ඕනෑම බලවත් කණ්ඩායමක වුවද තිබෙන දේශපාලන අවශ්‍යතා මත සිදුවන ගැටුම්වලදී වින්දිතයන් බවට පත් වූයේ ඕනෑම රටක සාමාන්‍ය ජනතාව බවත් හෙතෙම අවධාරණය කළේය.
එසේම සාමාන්‍ය ජනතාව සහ දේපළ විනාශ වීමට එරෙහිව රජය කටයුතු කරන බව පෙන්වා දෙන අමාත්‍යවරයා මෙරට ජනතාව ලෝක මට්ටමින් නොවූවද යුද්ධයක පුතිඵල දන්නා බවත් කිසිවෙක් යුද්ධයක් ප්‍රාර්ථනා නොකරන අතර යුද්ධයක පැත්තක් ගැනීමට කිසිවෙක් උත්සහ නොකරන බවත් පැවසීය.
රජයේ ස්ථාවර ඇතැම් කෙනෙකුගේ ස්ථාවරයට සමපාත නොවනු ඇති බව පවසන අමාත්‍යවරයා තම තමන්ට ස්ථාවරයන්හි පිහිටා සිටිය හැකි අතර ශ්‍රී ලංකාව යුද්ධයක අතරමැදියන් විය යුතු නැති බවත් යුද ගැටුම් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.


