කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලට අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයක්

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලට අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයක්
  • SocialShare:

යුනිසෙෆ් සංවිධානයේ මූල්‍ය ප්‍රතිපාදන මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සම්භන්ධීකරණය හා මගපෙන්වීම මත කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ ප්‍රථමවරට ස්ථාපිත කරන ලද අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රය (Incinerator) පසුගියදා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සේවාවන් සදහා එක් කිරීමට පියවර ගනු ලැබීය.

මෙම අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රය  (Incinerator)  සදහා යුනිසෙෆ් සංවිධානය විසින් රුපියල් මිලියන 17 කට අධික මූල්‍ය ප්‍රතිපාදන වැයකර තිබූ අතර නව යන්ත්‍රය මගින් දිනකට සායනික අපද්‍රව්‍ය කිලෝ 1000 අධික ප්‍රමාණයක් දහනය කිරීමට හැකියාව ඇත.

දෛනිකව ආසාධිත අපද්‍රව්‍ය කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් රෝහලෙන් බැහැර කිරීමට සිදුවන අතර මෙතෙක් එම අපද්‍රව්‍ය මධ්‍යම පරිසර අධිකාරියේ බලපත්‍රලාභී සායනික අපද්‍රව්‍ය කළමනාකරණ සමාගමක් මගින් දහනය කිරීම සිදුකරන ලදී. නව යන්ත්‍රය ස්ථාපිත කිරීමෙන් පසු ඒ සදහා අඳාළ සමාගමට ගෙවීමට සිදුවූ මුදල ද රෝහලට ඉතිරි වේ.

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලට ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයක දැඩි අවශ්‍යතාවය රෝහල් පාලන අධිකාරිය විසින් පැවති රජයන්වෙත වරින්වර දැනුම්දුන් නමුත් එම ඉල්ලීම ඉටු නොවුන බව ද මෙහි දී අනාවරණය විය.

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල 1960 වර්ෂයේ දී ආරම්භකර ඇති අතර  අදියරෙන් අදියර සංවර්ධනය වූ රෝහලේ මේවන විට එහි ඇදන් ධාරිතාවය 815ක් වේ. කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහල වන අතර ලක්ෂ නවයකට ආසන්න ජනතාවකට  මෙන්ම අවට දිස්ත්‍රික්කවන මහනුවර, කුරුණෑගල, රත්නපුර සහ අවට ප්‍රදේශවල  ජනතාවට ද ප්‍රතිකාර හා සත්තාර සේවාවන් මෙම රෝහල මගින්  සපයනු ලබයි. 

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  සමන්ත රණසිංහ, කෑගල්ල නගර සභාවේ නගරාධිපති නිමල් කරුනාරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, සාලින්ද බණ්ඩාර ,   නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරුන් වන විශේෂඥ වෛද්‍ය එස් ශ්‍රීධරන්, දිනිප්‍රිය හේරත් ,  ප්‍රසන්න හේරත්,  කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය  නිතෙර්ශනී  පෙරියසාමි, කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ යන මහත්ම මහත්මින් ඇතුළුව නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, පරිපාලන නිලධාරීන්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය වන පරිදි  කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.