ප්‍රජා ශක්ති වැඩසටහන යනු ගමට බලය ලබා දෙන, ගමක පාලනය පිළිබඳ පුහුණුවක් ප්‍රජාවට ලබා දෙන සහ ජනතාව සවිබලගන්වන ජන සහභාගීත්ව වැඩසටහනක් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ග්‍රාම සේවා වසම් තුළ පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ මහනුවර දිස්ත්‍රික් සමුළුව ඊයේ (11) මහනුවර සහස් උයන පරිශ්‍රයේදී පැවති අවස්ථාවේදීය.
ප්‍රජා ශක්ති වැඩසටහන මඟින් ගමට ප්‍රභූත්වයේ යටත්වාදය වෙනුවට ප්‍රජාවගේ පාලනයක් ඇතිවෙමින්, එමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආර්ථික, සමාජීය හා දේශපාලන ක්ෂේත්‍රවල පුළුල් වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලය එක්ව, දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,007ක පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්ත සමුළු මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රජා ශක්ති වැඩසටහන ජාතික මට්ටමින් සිදු වූ වෙනස ග්‍රාමීය මට්ටමට ගෙන යන ක්‍රියාවලියක් වන අතර, රාජ්‍ය සේවය සහ ප්‍රජාව සෘජුව සම්බන්ධ කරමින් ජනතාව සමාජ, ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රවල සක්‍රීය සහභාගීකරුවන් බවට පත් කිරීම එහි අරමුණ බවයි.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජානක බණ්ඩාර මහතා, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු සහ ප්‍රජා ශක්ති වැඩසටහනට අදාළ රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.


