ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර කර්මාන්ත හා ආයෝජන සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අවධානය

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර කර්මාන්ත හා ආයෝජන සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අවධානය
  • SocialShare:

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පකිස්ථානයේ කර්මාන්ත හා නිෂ්පාදන සඳහා අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සහකාර Haroon Akhtar Khan මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ හමුවක් අද (28) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර කර්මාන්ත හා ආයෝජන සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, රසායනික නිෂ්පාදන, ඛනිජ නිෂ්පාදන, මැණික් සහ විද්‍යුත් ත්‍රීවීල් නිෂ්පාදන ක්ෂේත්‍ර සඳහා පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳව Haroon Akhtar Khan මහතා ප්‍රමුඛ පකිස්ථාන නියෝජිත පිරිසේ විශේෂ අවධානය යොමු විය.

මෙම අවස්ථාවේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, ශ්‍රී ලංකාව හා පකිස්ථානය යන රටවල් දෙකටම පොදු කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින අභියෝග ජයගැනීම සඳහා පොදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ විදේශ ආයෝජකයන් සඳහා විශාල අවස්ථා පවතින බවත්, ආයෝජකයන්ට තිබූ බාධක ඉවත් කර ඒ සඳහා සුදුසු ආයෝජන පරිසරයක් මේ වනවිට රට තුළ ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කළේය.

තවද, 2026 ජුනි මස පැවැත්වීමට නියමිත “ශ්‍රී ලංකා එක්ස්පෝ 2026” ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා පකිස්ථාන ආයෝජක ප්‍රජාවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ආරාධනා කළ අතර, එම ආරාධනාව පිළිගත් Haroon Akhtar Khan මහතා එම ප්‍රදර්ශනය සඳහා පකිස්ථානයේ ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් සහභාගී කරවන බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් Major General (Retd) Faheem Ul Aziz මහතා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.