දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ ආගමික ස්ථාන සියල්ල තත්පරිදි ගොඩනැගීමට රජය කටයුතු කරනවා- ඇමති හිනිදුම සුනිල් සෙනෙවි

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ ආගමික ස්ථාන සියල්ල තත්පරිදි ගොඩනැගීමට රජය කටයුතු කරනවා- ඇමති හිනිදුම සුනිල් සෙනෙවි
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවට මුහුණ දී ඊයේ දිනය වන විට මාස දෙකක් සම්පූර්ණ වී ඇති අතර, එම සුළි කුණාටුවෙන් විනාශයට පත් වූ සියලු ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කරන “ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ” ජාතික වැඩසටහන මහනුවර නගරයෙන් ආරම්භ කළ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

ඊයේ මෙම වැඩසටහනෙහි සමාරම්භක වැඩසටහන ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර,  එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව  සඳහන් කළේය, සිංහල, දෙමළ සහ මුස්ලිම් ජන වර්ග තුනම එකට ජීවත්වන දොරගල ගම්මානය තුළ බෞද්ධ, කිතුණු, ඉස්ලාම් ඇතුළු ප්‍රධාන ආගම්වලට අයත් සිද්ධස්ථාන රැසක් විවිධ ආකාරයේ ව්‍යසනයට පත්ව ඇති බවයි. එම සියලු සිද්ධස්ථාන තත්පරිදි යළි ගොඩනැගීමට රජයේ සම්පූර්ණ අවධානය යොමු කර ඇති අතර, ඒ සඳහා ජනාධිපතිවරයාගේ මගපෙන්වීමද ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

දිවයින පුරා ව්‍යසනයට පත් වූ ආගමික සිද්ධස්ථාන ගොඩනැගීමේ මෙම වැඩපිළිවෙළ ඉතා අධිෂ්ඨානයෙන් ඉදිරියට ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා ආගමික නායකයන්ගේ ආශිර්වාදය විශාල ශක්තියක් වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවේදී සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උඩපළාත ප්‍රධාන සංඝනායක, උඩපළාත් සාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී පූජ්‍ය බෝවල විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ විසින් විශේෂ අනුශාසනාවක් සිදු කළහ. එමෙන්ම සිව සිරි සෙල්වම් කුරුක්කල් විනයගර් පූජකතුමා විසින් දෙමළ ආගමික වතාවත් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට පළාතේ මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා, මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු දේශපාලන නියෝජිතයන්, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. පී. සේනාධීර මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, ප්‍රාදේශීය ලේකම්වරු, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.