ශ්‍රී සර්වඥ ධාතූ වැඳපුදා ගැනීමේ දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න – බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු ඇමති

ශ්‍රී සර්වඥ ධාතූ වැඳපුදා ගැනීමේ දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න – බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු ඇමති
  • SocialShare:

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීම සඳහා එළඹෙන පෙබරවාරි 04 සිට 11 දක්වා දින හතක කාලයක් ශ්‍රී ලාංකික ජනතාවට අවස්ථාව හිමිවන බව බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි. මෙම දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙසද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ශ්‍රී සර්වඥ ධාතූ වන්දනාව පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදීය.

එළඹෙන 04 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට වැඩම කරවීමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රජය වෙනුවෙන් පූර්ණ ගෞරවය සහිතව, ශාසන හා රාජ්‍ය සම්බන්ධතාවයන්ට අදාළ ලෙස පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ධාතු වන්දනාවට ජනතාවට පැමිණ දැකබලා ගත හැකි කාලසටහන්, මාර්ග සැලසුම්, රථවාහන නතර කරන ස්ථාන, දන්සැල්, ජල හා සනීපාරක්ෂක පහසුකම් ආදී සියලු තොරතුරු ඉදිරියේදී ජනමාධ්‍ය ඔස්සේ දැනුම්වත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සර්වඥ ධාතූන් වහන්සේලාට අවශ්‍ය ගෞරවය හා ආරක්ෂාව සලසා දීම රජයේ වගකීමක් බැවින් වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගෙන් ජංගම දුරකතන භාවිතය අවම කරන ලෙසත්, බඩු බාහිරාදියෙන් තොරව පැමිණ ධාතු වන්දනාවට එක්වන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ,  බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එන් කුමාරි මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.