ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ප්‍රංශය සූදානම් බව ප්‍රංශ රජයේ තානාපති රෙමී ලැම්බර්ට් (Remi Lambert) මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ රජයේ තානාපති රෙමී ලැම්බර්ට් (Remi Lambert) මහතා සමඟ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවති අතර එහිදී ප්‍රංශ තානාපතිවරයා මෙම අදහස් පළ කළේය.
මෙම හමුවේදී කලාපීය සම්බන්ධතා ශක්තිමත් කිරීම, ගුවන් සේවා යටිතල පහසුකම් වර්ධනය, වරාය සංවර්ධන ව්‍යාපෘති සහ ආයෝජන ආකර්ශන වැනි ප්‍රධාන කරුණු සවිස්තරාත්මකව සාකච්ඡා කළහ.
ප්‍රංශ තානාපතිවරයා අදහස් දක්වමින් ඉන්දියන් සාගර කලාපයේ මූලික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රංශයට විශේෂ වැදගත්කමක් දරන බවද පෙන්වා දුන්නේය.
එහිදී අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ගුවන් හා නාවික ක්ෂේත්‍ර දෙකම සඳහා අතිශය උපායමාර්ගික බව අවධාරණය කළ අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට කැමැත්ත පළ කළේය.
ප්‍රංශ තානාපතිවරයා දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ බලපෑම පිළිබඳව කනගාටුව පල කරමින් යුරෝපා සංගමය සමඟ එක්ව මානුෂීය සහය ලබාදීම සඳහා ප්‍රංශ රජය දායක වූ බවද සඳහන් කළේය. එමෙන්ම ප්‍රංශ සංවර්ධන ඒජන්සිය (French Development Agency - AFD) හරහා ආපදා ප්‍රතිපාදන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉදිරියේදී උපරිම සහය ලබා දීමට සලකා බලන බවද පැවසීය.අමාත්‍යවරුන් දෙදෙනා ආපදා අවස්ථාවේ ලබා දුන් සහයෝගයට කෘතවේදීත්වය පලකළහ.
මෙම සාකච්ඡාවේදී සංචාරක ව්‍යාපාරය ගැනද අවධානය යොමු කළහ. වාර්ශිකව ප්‍රංශ සංචාරකයින් ලක්‍ෂයකට (100 000) වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර සුළි කුණාටුවෙන් පසු සංචාරක උපදෙස් ධනාත්මකව තබා ගැනීමටද ප්‍රංශ රජය අවධානය යොමු කල බවද ප්‍රංශ තනාපති රෙමී ලැම්බර්ට් මහතා ප්‍රකාශ කලේය.
තවද ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් ගමනාගමනය ඉහළ දැමීමට අත්‍යවශ්‍ය බව පෙන්වා දෙමින්, ඊට අදාලව සං ඥා, රේඩාර්, ගුවන් පාලන කළමනාකරණයන් සඳහා තාක්‍ෂණික කේෂත්‍රවලදී ප්‍රංශ සමාගම් සතුව ඇති දැනුම හා පළපුරුද්ද හරහා සහාය ලබාදීමට හැකි බවද දැනටමත් රේඩාර් හා ඊ ගේට් සපයා ඇති බවද තානාපතිතුමා සඳහන් කලේය.
සාකච්ඡාවේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ මත්තල ගුවන් තොටුපල ගැනද දෙපාර්ශවය අතර අදහස් යෝජනා හුවමාරු වූ අතර ප්‍රංශයේ Airbus සමාගම මඟින් මත්තල ගුවන් තොටුපළ කළාපයේ ආයෝජන ව්‍යාපෘතියක් සලකා බැලිය හැකි බව තානාපතිවරයා පෙන්වා දුන්නේය.
කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය (WCT) ගැනද අවධානය යොමු විය. දැනට ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ලෝක බැංකුව (World Bank) එක්ව සකස් කරමින් තිබෙන ශක්‍යතා සහ තාක්ෂණික වාර්තාවන් ලැබුණ විගස සුදුසු ආයෝජන ආකෘතිය තීරණය කිරීමට සලකා බලන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසා සිටියේය.


