ශ්‍රමයේ අභිමානය හා සොබාදහමෙන් ලද රැකවරණයට කෘතඥතාව පළ කරන උදාර සංස්කෘතික සම්ප්‍රදායක් සනිටුහන් කරමින්, ලෝකවාසී දෙමළ ජනතාව සමරනු ලබන තෛපොංගල් උත්සවයේ ජාතික සැමරුම අද (15) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය කාර්යාලය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙම ජාතික සැමරුම සංවිධානය කර තිබුණි.
සැමරුම් උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, මෙවර තෛපොංගල් දිනය සමගිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සෑම ප්‍රජාවකගේම සංස්කෘතික හා ආගමික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මත පදනම් වූ ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා කැපවීම අලුත් කර ගැනීමට අවස්ථාවක් බවයි.
තෛපොංගල් සැමරුමේ මූලික හරය වන උත්සාහය, ඉවසීම සහ පරිසරයට ගරු කිරීම වැනි ගුණාංග පෙරදැරි කරගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ වැදගත්කම ද ඇය මෙහිදී අවධාරණය කළාය.
රට නව යුගයකට ප්‍රවේශ වෙමින් සිටින මෙම අවස්ථාවේදී, රජයක් ලෙස ප්‍රතිපත්තිමය හා ආකල්පමය ප්‍රතිසංස්කරණ මඟින් රට යථා තත්ත්වයට පත් කිරීමේ වගකීම භාරගෙන ඇති බවත්, එය අභියෝගාත්මක වුවද අත්‍යවශ්‍ය කාර්යයක් බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
“තෛපොංගල් දිනය තුළින් සාමූහිකත්වයේ වැදගත්කම, සොබාදහම සමඟ ඇති බැඳීම සහ දෛනික ජීවිතයේදී කෘතඥතාවයේ අගය අපට සිහිපත් කර දෙනවා. අද මෙම ජාතික සැමරුම මෙලෙස පැවැත්වීමට හැකිවීම පිළිබඳව මා සතුටු වන අතර, මෙයට සහභාගී වූ ඔබ සැමටත් සමස්ත හින්දු ජනතාවටත් සුබ තෛපොංගල් දිනයක් වේවා” යැයිද ඇය ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හින්දු ආගමික පූජකවරුන් ඇතුළු සර්වාගමික නායකයින්, අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්, දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, සම්භාවනීය ආරාධිත අමුත්තන්, හින්දු බැතිමතුන් සහ පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.


