2025-2026 මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම 2025-2026 ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාවක් අනුවය.
මෙරට රිය අනතුරු 118697 ක් 2020-2024 කාලසීමවා තුළ වාර්තා වී ඇති බවත් ඉන් පුද්ගලයන් 12322ක් මිය ගොස් ඇති බවත් කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව කීවේය.
මාර්ග අනතුරු හේතුවෙන් පසුගිය වසර තුනක කාලය තුළ මෙරට සාමාන්‍ය වාර්ෂික මරණ අනුපාතය පුද්ගලයන් 10000කට 11.2ක් ලෙස වාර්තා වී ඇති බව හෙතෙම කියා සිටියේය.
එමෙන්ම දුම්රිය හරස් මාර්ගවල පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් අනතුරු 400ක් පමණ වාර්ෂිකව සිදුවන බවට වාර්තා වී තිබෙන බව ඇමැතිවරයා පැවසීය.
මාර්ග අනතුරු හේතුවෙන් අඛණ්ඩව ඉහළ යන මරණ හා සැමටම සමාන මාර්ග පරිසරයක් ඇති කිරීමට හා මාර්ග යටිතල පහසුකම්වල ගණාත්මකභාවය වැඩිදියුණු කිරීම, ආරක්ෂිත වාහන භාවිතා කරන බවට තහවුරු කිරීම හා එම වාහන නියාමනය කිරීම අත්‍යවශ්‍ය බව හඳුනා ගෙන ඇති බව ඇමැතිවරයා කීවේය.
ඒ අනුව එකී අරමුණු සහිතව සකස් කරනු ලැබ ඇති ‘මාර්ග ආරක්ෂණ ක්‍රීයාකාරී සැලැස්ම 2025-2026 ක්‍රියාත්මක කිරීමට වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඇමැතිවරයා පැවසීය.


