දුම්කොළ හා මත්ද්‍රව්‍යවලට විරුද්ධ වීම අප සංස්කෘතියේ අංගයක් වුවද, ඊට විරුද්ධව කෙතරම් සංවිධානාත්මකව ප්‍රචාරක ක්‍රම දියත්වුවද, මත්ද්‍රව්‍ය, මත්වතුර සහ දුම්වැටි සමාජ ගත කිරීම අතිශය මනෝ විද්‍යානුකූලව, සංවිධානාත්මකව සහ විශාල මුදලක් ආයෝජනය කර අදාළ සමාගම් සිදුකරන අතර ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ මීට වඩා දැඩි පාලනයක් අවශ්‍ය බව, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් සංවිධානය කරන ලද ත්‍රයි මාසික දුම්කොළ හා මත්ද්‍රව්‍ය වැළැක්වීම පිළිබඳ මනෝ උපදේශන සහතිකපත්‍ර පාඨමාලාව සාර්ථකව නිමකරන ලද සහතිකපත්‍රලාභීන් පනස්දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
සහතික පත් ප්‍රදානෝත්සවය පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
මෙම සහතික පත්‍ර පාඨමාලා කණ්ඩායම සදහා සෞඛ්‍ය, ආරක්ෂක අංශ ඇතුළත්ව රාජ්‍ය සේවාව නියෝජනය කරනු ලබන ආයතන රැසක රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඇතුළත් වූහ. දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරිය විසින් 2021 වර්ෂයේ දී මෙම සහතික පත්‍ර පාඨමාලාව ආරම්භකර ඇති අතර මෙවර එම පාඨමාලාව සංවිධානය කරනු ලැබුවේ පස්වන වරටය.
පස්වන කණ්ඩායමේ හොදම කාර්ය සාධනය පෙන්නුම්කල රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකුට ඒ වෙනුවෙන් විශේෂ සහතිකපත් සහ ත්‍යාගයන්ද අමාත්‍යවරයා අතින් මෙහි දී ප්‍රදානය කරනු ලැබීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියොජ්‍ය අමාත්‍යවරයා මෙරට සිදුවන මරණ විශාල සංඛ්‍යාවකට මෙන්ම, විශාල රෝග ප්‍රමාණයකට මත්පැන්, මත්ද්‍රව්‍ය සෘජුව බලපාන බැවින් සෞඛ්‍ය අමාත්‍යාශයේ වැය ශීර්ෂයෙන් විශාල මුදලක් මේ සඳහා වැය කිරීමට සිදුව ඇතිබවත්, එමෙන්ම මෙරට සිදුවන අනතුරුවලින් විශාල ප්‍රමාණයකට ද මත්වතුර, මත්ද්‍රව්‍ය මුලික හේතුවක් වන බව ද පැවසීය.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම විශ්ලේෂණය කර බැලීමේ දී රෝහල් ගතවන රෝගීන්ගෙන් සැලකියයුතු ප්‍රමාණයක් ඔවුන් රෝහල් ගතවීමට ඍජුවම දුම්කොළ සහ මත්ද්‍රව්‍ය හේතුකාරක වී ඇති බවද ඒ හේතුවෙන් මෙරට රජයේ රොහල්වල ඇඳන් ධාරිතාවයෙන් විශාල ප්‍රමාණයක් මේ සදහා වැයකර තිබෙන බව ද පැවසීය.
එමෙන්ම අපයෝජනය, මානසික සෞඛ්‍ය ගැටලුව වැනි කාරණයකදී වුව ද මත්වතුර, මත්ද්‍රව්‍යවල සෘජු හෝ වක්‍ර බලපෑම් බහුලව සිදු වී ඇතැයිද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම තත්වයන් සෞඛ්‍ය අමාත්‍යංශයට දැඩි අභියෝගයක් බව ද අවධාරණය කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛණවල මෙම දත්ත සටහන්වීමේ දී එහි සටහන් වන්නේ බෝනොවන රෝග, අනතුරු, මානසික රෝග වැනි අංශවලින් වෙන වෙනම බව සදහන්කළ අමාත්‍යවරයා එහි මූලබීජය ඇත්තේ වෙනත් තැනක බැවින්, එබැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස මේ පිළිබදව ගැඹුරින් සලකා බලමින් කටයුතු කළ යුතු බව ද මෙහි දී පෙන්වා දෙන ලදී.
විශේෂයෙන්ම තරුණ පරපුර, නව යෞවන වියේ පසුවන පිරිස මෙම මත්ද්‍රව්‍ය හා දුම්කොළ සමාගම්වල ප්‍රධනම ඉලක්කය වී තිබෙන බැවින් ඊට විරුද්ධව සිදුකරන ක්‍රියාකාරකම් වල එම පිරිස් සමග සමීපව හා සහභාගීත්වයක් සහිතව කටයුතු කිරීම වැදගත් බව ද අවධාරණය කළේය.
පාසල්වල මුල් කාර්තුවේ දී පවත්වන මහා ක්‍රිකට් තරඟ ආදී දේවල් දුම්කොළ හා මත්ද්‍රව්‍ය සමාගම් විසින් ඉතා සූක්ෂමව අදාළ දෑ ප්‍රවර්ධනයට පාවිච්චිකරන බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී. මෙරට ප්‍රජා මනෝ වෛද්‍ය සේවාව වර්තමානයට අවශ්‍ය පරිදි විධිමත් නොවීම ගැටළු සහගත තත්ත්වයක් බවත්, අද දින සහතිකපත් ලබන ඔබ සියලු දෙනා උත්සහ ගනු ලබන්නේ එම අඩුව පිරවීමට බවත්, එම අඩුව පිරවීමට හැකිනම් බෝ දේ සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබෙන බව ද සදහන් කර සිටියේය.
මෙම සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථවට දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජතික අධිකාරියේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක, හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ඇලන් ලුඩවයිට්, ශ්‍රී ලංකා වෛද්‍ය සංමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා, පේරාදෙණිය විශ්ව විද්‍යාලය් මහාචාර්ය රුවන් ජයසිංහ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ,පාඨමාලා ආචාර්ය විමල් රාජකරුණා,සෟඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එච්. කරුණාරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම සහතික පත්‍ර ලාභීන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළුව පිරිසක් එක්ව සිටියහ.


