සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛතාවය මත සිදුකරනු ලබන සියලු ඉල්ලීම්වලට අවශ්‍යවන සහයෝගය නිබඳවම ලබා දීමට කටයුතු කරන බවට සහතිකයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛතාවය මත සිදුකරනු ලබන සියලු ඉල්ලීම්වලට අවශ්‍යවන සහයෝගය නිබඳවම ලබා දීමට කටයුතු කරන බවට සහතිකයක්
  • SocialShare:

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛතාවය මත සිදුකරනු ලබන සියලු ඉල්ලීම්වලට අවශ්‍යවන සහයෝගය නිබඳවම ලබා දීමට කටයුතු කරන බව  ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් මහතා (Dr. Rajesh Sambhajirao Pandav) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවේ පැවසීය.

ඒ මහතා මේබව පවසා සිටියේ , පසුගියදා  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවති විශේෂ හමුවකට එක්වෙමින්ය.

පසුගිය දිනවල මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ජල ගැලීම් තත්ත්වය නිසා හානියට පත් වූ හලාවත දිස්ත්‍රික් මහ රෝහල, නුවරඑලිය මහ රෝහල සහ මහියංගනය මූලික රෝහල යන රෝහල්වල සෞඛ්‍ය සේවාවන් අදියරෙන් අදියර යථාවත් කිරීම පිළිබදවත්, ඊට අවශ්‍යවන සහයෝගය ලබා ගැනීමත්  අරමුණු කරගනිමින් මෙම හමුව පැවැත්විණි.

හලාවත සහ නුවරඑලිය මහ රෝහල් දෙක මෙන්ම මහියංගනය මූලික රෝහල ජල ගැලීම සහ නාය යාම යන හේතුවලින් දැඩි හානියට පත්වූ බවත්, එම රෝහල්වල වෛද්‍ය උපකරණවලට ද ඒ හේතුවෙන් හානි වී තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී  ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරයා හමුවේ පැවසීය.

එම රෝහල්වල සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හි දැඩි අපිරිමිත කැපවීමෙන් මේ වන විට අදියරෙන් අදියර එම රෝහල්වල ප්‍රතිකාර සේවාවන් යථාවත් කිරීමට පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම විසින් හලාවත මූලස්ථාන පොලිස් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති විශේෂ ක්ෂේත්‍ර රෝහල මගින් එම ප්‍රදේශයේ ජනතාවට සුව සත්කාර සේවාවන් ලබා දෙන බවත්, ඉන්දියානු හමුදා සහන සේවා කණ්ඩායම මගින් ස්ථාපිත ජංගම රෝහලක් මගින් මහියංගනය ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිකාර සේවාවන් සිදුකරන බවත් අමාත්‍යවරයා මෙහි දි පැවසීය.

මෙම හදිසි ආපදා තත්ත්වය පැමිණිමට පෙර එම රෝහල්වල සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන ගිය ආකාරයටත් නැවත කඩිනමින් රෝහල් යථාවත් කිරීම පිළිබදවත්, ඒ සදහා අවශ්‍යවන මූළ්‍ය ප්‍රතිපාදන මෙන්ම, ලෝක සෞඛ්‍ය සංවීධානය විසින් ලබාදෙන සහයෝගීතාවය පිළිබදවත් සාකච්ජා කෙරිණි

මෙහි දී මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව, මානසික සෞඛ්‍ය සේවාව සහ පෝෂණය යන අංශ ඉහළ නැංවීම කෙරෙහිද,  එමෙන්ම වසංගත රෝග බෝවීමේ අවධානම මෙන්ම එය පාලනය කිරීම පිළිබදව ද විශේෂ අවධානය යොමු කරමින් සාකච්ජා විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආපදාවන්ට ලක්වූ රෝහල් යථාවත් කිරීමට රුපියල් මිලියන 53කට අධීක මුදලක් මේවනවිට ලබා දී තිබෙන බවත්, ඉදිරියේදී  තවත් මූල්‍ය ප්‍රතිපාදන මෙරටට ලැබීමට නියමිත බවද  මෙහි දී  අණාවරණය විය.

ඇතිවූ ආපදා තත්තත්වය හමුවේ මෙරට සෞඛ්‍ය සේවාව අකර්මන්‍ය නොවී විධිමත් ලෙස පවත්වාගෙන යාමට මෙන්ම සෞඛ්‍ය යාන්ත්‍රනය විධීමත්ලෙස කළමණාකරනය කිරීමට වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලබාදෙන නායකත්වය බෙහෙවින් අගය කරන බවද  ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් මහතා මෙහි දී පවසා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ද එක්ව සිටියහ.