මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා සැපයුම් ඉදිරි දින තුනක කාලයකදී යථා තත්ත්වයට

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා සැපයුම් ඉදිරි දින තුනක කාලයකදී යථා තත්ත්වයට
  • SocialShare:

ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම යථාවත් කිරීමට හැකිවනු ඇතැයි ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණය කරගැනීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (01) මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බ.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආපදා කළමනාකරණ කමිටුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහනුවර නගරයේ විදුලි සැපයුම මේ වන වට සක්‍රීය තත්ත්වයට පත් කොට ඇති බවත් සෙසු ප්‍රදේශවල විදුලි සපයුම යථාවත් කිරීම කඩිනමින් සිදුවන බව ද ඒ මහතා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ මහා මාර්ග, විදුලිය, ජල සම්පාදනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සක්‍රීය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් නගරයට අවශ්‍ය අත්‍යවශ්‍ය සැපයුම් සේවා කඩිනමින් ළඟා කර ගැනීම සඳහා කුරුණෑගල සිට ගලගෙදර හරහා මහනුවර මාර්ගය දැනට භාවිතා කරන බව ද පැවසුවේය.

වැසි රහිත කාලගුණික තත්ත්වය යටතේ මෙම මාර්ගය දැනට ස්ථාවර තත්ත්වයේ පවතින බව කී ඒ මහතා මහනුවර මහියංගනයේ මාර්ගයේ එක් මං තීරුවක් විවෘත කර ඇති බවත් දැනට ගල් පෙරළී අවහිර වී ඇති ස්ථාන පිළිසකර කිරීමෙන් අනතුරුව ඉන්ධන ප්‍රවාහනය කිරීමේ විශාල බවුසර් ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රධාන මාර්ගය පිළිසකර කරමින් පවතින බවත්, අතුරු මාර්ගේ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන ආයතනවල සහභාගිත්වයෙන් සිදුකරන බවද පැවසුවේය.

මහනුවර මහනගර සභාවේ ජල පිරිපහදුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වනවිට සිදුවන බවත් ඉදිරි දින දෙක තුළදී ජල සම්පාදනය කිරීමට හැකිවනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා ඇතුළු මහජන නියෝජිතයන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.