දීපාවලී දිනයට අගමැතිගෙන් සුබ පැතුම්

දීපාවලී දිනයට අගමැතිගෙන් සුබ පැතුම්
  • SocialShare:

දීපාවලි දිනයේ දැල්වෙන පහන් ආලෝකය, ආර්ථික පුනරුදයට සහ  සමාජ සංහිඳියාවට මූල බීජ වැපිරීමට මඟ පෙන්වන ප්‍රඥා ආලෝකයක් වේවායි ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අදට යෙදෙන  දීපාවලි දිනය නිමිත්තෙන්  ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරිය මේ බව සඳහන් කරයි.

අගමැතිනියගේ  දීපාවලි දින ශුභාශිංසන පණිවුඩය පහත දැක් වේ.

දීපාවලි උත්සවය සමරන ලෝකවාසි හා විශේෂයෙන් ම ලංකාවාසි සියලු හින්දු භක්තිකයන්  වෙත මාගේ ශුභාශිංසන එක් කරනු කැමැත්තෙමි.

දීපාවලි උත්සවය තුළින් අඳුර නසා ආලෝකයේ උදාව සිදුවීම සංඛේතවත් කරයි.

අද වන විට ශ්‍රී ලංකාව සුවිශේෂි හැරවුම් ලක්ෂයක් පසු කරමින් සිටින අතර, දීර්ඝකාලීන ආර්ථික සහ සමාජීය වශයෙන් ඇති ව තිබූ  අන්ධකාරයෙන් හා පසුගාමීත්වයෙන් ගැලවීම අරඹයා, ජනතාව විසින් නව බලාපොරොත්තු හා විශ්වාසයන් අත දරා සිටින අවදියක් ලෙස මෙකී කාල පරාසය හැඳින්විය හැකිය.

ජනතාවගේ ප්‍රගමනය සහ  නව යුගයක ඇරඹුම ඒකාබද්ධ ප්‍රයත්නයක් තුළින් අප  අරඹා ඇත්තෙමු.

මෙවර දීපාවලි දිනයේ දැල්වෙන පහන් ආලෝකය, ආර්ථික පුනරුදයට සහ  සමාජ සංහිඳියාවට මූල බීජ වැපිරීමට මඟ පෙන්වන ප්‍රඥා ආලෝකයක් වේවායි ප්‍රාර්ථනය කරමි.

අප සියලු දෙනා සංස්කෘතික බහුවිධතාවයේ  වටිනාකම් ගැන අවධානය යොමු කොට ගෞරවය, පිළිගැනීම සහ සහෝදරත්වයෙන් යුතුව අත්වැල් බැඳගනිමු.

ගම් දනව් සිසාරා දල්වන  දහස් සංඛ්‍යාත පහන් ආලෝකයෙන්,  සියලු ලංකාවාසින්ගේ සිත් තුළ  විශ්වාසය, සංහිඳියාව සහ ප්‍රඥාවේ ආලෝකය උදා වේවායි ප්‍රාර්ථනය කරමි.

සුබ දීපාවලි දිනයක් වේවා !

ආචාර්ය හරිනි අමරසූරිය

අග්‍රාමාත්‍ය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය