“Clean Sri Lanka” සමගාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක “Dream Destination” වැඩසටහන යටතේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අද (27) ආරම්භ කෙරිණි.
කැලණි වැලි මාර්ගයේ තවත් එක් සුවිශේෂී දුම්රිය ස්ථානයක් සේ සලකන නාරාහේන්පිට දුම්රිය ස්ථානය කොටා රෝඩ් දුම්රිය ස්ථානයට හා කිරුලපන දුම්රිය ස්ථානයට මැදිව පිහිටා ඇත. කොළඹ සිට 5.06 km දුරක් හා මුහුදු මට්ටමේ සිට උස 3.72m කින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය ප්‍රධාන වේදිකා දෙකකින් හා එක් ටිකට් කවුන්ටරයකින් සමන්විත වෙයි.
කම්කරු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනය රැසකට යාබඳව පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය එදිනෙදා රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගී ජනතාව විශාල පිරිසක් භාවිතා කරති.
එකී මගී ජනයාගේ සුවපහසුව පිණිස මෙම දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග හරහා වේදිකා යා කරමින් මගී ගුවන් පාලමක් ඉදි කිරීම, දෙවන වේදිකාවේ වහලය සැකසීම, සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම, දුම්රිය මඟීන් සඳහා රැඳී සිටීමට සුවපහසු ආසන සැකසීම ඇතුළු නවීකරණ කටයුතු පෞද්ගලික අංශයේ පූර්ණ අනුග්‍රහය සහ NIO Engineering සහයෝගය ඇතිව ක්‍රියාත්මක කෙරේ.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර, කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් යන මහත්ම මහත්මීහු ඇතුළු මහජන නියෝජිතයන්ද, ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කපිල සී.කේ. පෙරේරා, දුම්රිය සාමාන්‍යාධිකාරී රවින්ද්‍ර පත්මප්‍රිය, NIO Engineering සාමාජික ඉංජිනේරු ස්ටැන්ලි මොරේමඩ, MAGA Engineering ප්‍රධාන විධායක නිලධාරී පියදාස මදරසිංහ යන මහත්ම මහත්මීහු සහ ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


